ලන්දේසි පාලන ප්‍රතිපත්ති
 

ලන්දේසින් ලංකාවේ මුහුදැබඩ ප්‍රදේශවල පාලනය බාර ගන්නා විට එම ප්‍රදේශවල ජීවත් වු ජනතාව පෘතුගීසි පාලන ප්‍රතිපත්තිවලට හැඩ ගැසී සිටියහ. පෘතුගීසීන් යටතේ දේශීය පාලන රටාව විශාල ලෙස වෙනස්‌ නොවු නිසා චිරාගත පාලන ක්‍රමයේ සමහර අංග තවදැරටත් ක්‍රියාත්මක වෙමින් පැවතුණි.

ලන්දේසින්ට අයත් වු පෙරදිග ප්‍රදේශ සඳහා පොදු පාලන සැලැස්‌මක්‌ ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම (VOC) විසින් සකසා ගෙන තිබුණි. පෙරදිග සියලුම යටත් ප්‍රදේශ හා වෙළෙඳ මධ්‍යස්‌ථානවල පාලනය බතාවියාවේ අග්‍රාණ්‌ඩුකාරයා හා ඔහුගේ උපදේශක මණ්‌ඩලයේ පාලනයට යටත් විය.


ලංකාවේ ලන්දේසින් සතු වු ප්‍රදේශ පාලනය කෙරුණේ ආණ්‌ඩුකාරයෙකු යටතේය. ඔහු සිවිල් නිලධාරියෙක්‌ විය. ඔහු පත් කළේ බතාවියාවේ අග්‍රාණ්‌ඩුකරු හා උපදේශක මණ්‌ඩලයේ කැමැත්ත පරිදිය. ආණ්‌ඩුකරුට සහාය වීමට උපදේශක මණ්‌ඩලයක්‌ද විය.
මෙම උපදේශක මණ්‌ඩලය සාමාජිකයන් 9 දෙනෙකුගෙන් යුක්‌ත විය. ආදායම් පාලක, කොළඹ දිසාවේ (දිසාපති), ප්‍රධාන යුද්ධ නිලධාරියා, පිස්‌කල් නිලධාරියා සහ ප්‍රධාන දෙපාර්තමේන්තු පහක ප්‍රධානින් පස්‌ දෙනෙක්‌ ඊට ඇතුළත් වූහ. ප්‍රධාන දෙපාර්තමේන්තු පහට අයත් වූයේ මහලේකම් කාර්යාලය, වාණිජ කාර්යාලය. ගණක (ගෙවීම්) කාර්යාලය, ගබඩා පිළිබඳ පරිපාලන කාර්යාලය සහ රේගු කාර්යාලය යන ඒවාය.

ලංකාවේ ලන්දේසි ප්‍රදේශ ප්‍රධාන කොටස්‌ තුනකට බෙදා තිබුණි.

1. කොළඹ කොමාන්ඩරිය
කල්පිටියේ සිට බෙන්තර දක්‌වා වු කොටස හා මීගමුව හා කළුතර බලකොටු ද මල්වාන, හංවැල්ල, අඟුරුවාතොට, පිටිගල, හතර කෝරළය, සත් කෝරළය සහ සබරගමුවෙන් කොටසක්‌ද ඊට අයත් විය.

2. යාපනය කොමාන්ඩරිය
මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්‌වා සෘජු රේඛාවක්‌ ඇන්දොත් ඊට උතුරින් ඇති භූමි ප්‍රදේශයට අයත් වු වන්නි ප්‍රදේශය, යාපනය
හා උතුරේ කුඩා දූපත් සියල්ල ඇතුළත් ප්‍රදේශය.

ගාල්ල කොමාන්ඩරිය පිටිගල, බෙරලපනාතර,මාපලගම සහ කටුවාන යන ප්‍රදේශ ඇතුළත් කලාපය. කොළඹ කොමාන්ඩරිය පාලනය වූයේ දිසාපතිවරයෙකු යටතේය. කුරඳු දෙපාර්තමේන්තුව කොළඹ පිහිටුවා තිබුණි. එහි පාලනය වූයේ දිසාපති යටතේ සිටි . මහබැද්දේ කපිතාන් නම් වු නිලධාරියා මඟින්ය.

යාපනය හා ගාල්ල කොමාන්ඩරි පාලනය වුයේ කොමාන්ඩර් නම් නිලධාරින් දෙදෙනෙකු මඟින්ය. ඔවුන්ගේ සහායට උපදේහක සභාවක්‌ බැගින් විය.

මීගමුව, කළුතර, ගාල්ල, මන්නාරම, ත්‍රිකුණාමලය, මඩකලපුව යන ස්‌ථානවල බලාකොටු පිහිටා තිබුණු බැවින් එම විශේෂ ස්‌ථානවල පාලනය සඳහා "ඔපර්හුප්ට්‌" නම් නිලධාරියෙකු බැගින් විය. ගාලු කෝරළය පාලනය සඳහා "සුපිරින්ටෙන්ඩන්ට්‌" නම් නිලධාරියෙක්‌ විය. මේ සියලුම නිලධාරිහු ඕලන්ද ජාතිකයෝ වූහ. පැරණි සිංහල පාලන ක්‍රමය අයත් වු පහළ මට්‌ටමේ තනතුරු සිංහලයන් අතම තිබුණි.

ස්‌වදේශික යුද්ධ සේනාවන් (ලස්‌කිරිඤ්ඤ හමුදා)භාරව සිටියේ මුදලිවරුන්ය. මුහන්දිරම්වරුන් හා ආරච්චිවරු මුදලිවරුන්ගේ සහායට සිටියහ.

සාමාන්‍ය ජනතාවගේ පාලන කටයුතු කෝරාළවරුන් යටතේ විය. විලියම් ෆල්ක්‌ ආණ්‌ඩුකාරයා මුදලි හා කෝරාළ යන තනතුරු දෙක ඒකාබද්ධ කළේ ය.

(c) Shilpa Sayura Foundation 2006-2017