පෙරදිග රටවලට යන අතරතුර 1602 මැයි මාසයේදී ජෝරිස් වෑන් ස්‌පිල්බර්ජන් නමැති ලන්දේසි අද්මිරාල් තැන වෙළඳ නැව් තුනක් සමඟ ලංකාවේ මඩකලපුවට ගොඩබැස්‌සේ ය. උඩරට රජු හමුවී ලංකාවෙන් වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීම ඔහුගේ පරමාර්ථය විය.
ඒ අනුව ස්‌පිල්බර්ජන් එවකට උඩරට රජු වූ 1 වන විමලධර්මසූරිය හමුවිය. ඔහු පෘතුගීසීන් පන්නා දැමීම සඳහා ලන්දේසින්ගේ සහාය ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළේය. මෙය ලන්දේසීන්ට නොසිතූ විරූ වාසියක් විය. උඩරට රජුගෙන් සත්කාර හා ත්‍යාග ලබාගත් ලන්දේසි නියෝජිතයා ඉතාමත් ඉක්‌මනින්ම යුද්ධ ආධාර රැගෙන ලංකාවට එන පොරොන්දැව පිට ආපසු ගියේය.
1603 දී "සී බෝට් ද වාර්ට්" විශාල නැව් හමුදාවක් රැගෙන ලංකාවට ගොඩ බැස්‌සේය. පළමුවෙන්ම ගාල්ල බලකොටුව පෘතුගීසින් ගෙන නිදහස් කරදීමට පොරොන්දු වූ ද වාර්ට් එයට පහරදී අල්ලා ගත්තේය. එෙහත් පොරොන්දු වූ පරිදි එය රජුට බාර නොදුන් නිසා විමලධර්මසූරිය රජු කෝපයට පත්විය.
මන්නාරමේ පෘතුගීසි - ලන්දේසි සටන

ඔහු රජවාසලට ගෙන්වා ඒ ගැන විමසන අවස්‌ථාවේ අධික ලෙස බීමත්ව සිටි ද වාර්ට් රජුට අශිෂ්ට අයුරින් කතා කිරීම නිසා රජුගේ හේවායන් අතින් මැරුම් කෑවේය. ලන්දේසීන් ද වාර්ට් වැරදිකරු බව පිළිගෙන රජු සමග දිගටම හොඳ හිත පවත්වා ගැනීමට සමත් විය.
උඩරට රජු හා ලන්දේසින් අතර සම්බන්ධතාව වර්ධනය වීම පෘතුගීසින්ගේ මහත් භීතියට හේතු විය. වහාම උඩරට යටත් කර නොගතහොත් ලන්දේසීන් ලංකාවේ වෙළඳාම පමණක් නොව පෙරදිග වෙළඳාමද තමන්ගෙන් උදුරා ගනු ඇතැයි කල්පනා කළ අසවේදු උඩරට රජු අල්ලා ගැනීමට මහා යුද්ධ හමුදාවක් පිටත් කර හැරියේය.
කඩුගන්නාවේ බලන නම් ස්‌ථානයේදී දෙපිරිස අතර ඇතිවූ ගැටුමින් පෘතුගීසි හමුදාව සහමුලින්ම විනාශ කිරීමට උඩරට හමුදාවන්ට හැකිවිය. පෘතුගීසි ලස්‌කිරිඤ්ඤා හමුදාව මෙහෙයැවූ කාංගර ආරච්චි තම හමුදාවත් සමඟ විමලධර්මසූරිය රජුගේ පැත්ත ගැනීම පෘතුගීසින්ගේ පරාජයට ප්‍රබල හේතුවක් විය.



