අතීතයේ සිට ක්‍රියාත්මක වූ "බද්ද සංවිධාන" රාශියක් මෙකල විය. බද්දේ විදානේ එහි ප්‍රධානියා වු අතර දුරයා මොහොට්‌ටාල සහ කණක පුල්ලේ යන නිලධාරහු ඔහුගේ සහායට සිටියහ. රජයට කළ යුතු සේවා පවත්වාගෙන යාම, බදු අයකර රාජ්‍ය භාණ්‌ඩාගාරයට යැවීම, රාජ්‍ය නිලධාරීන්ට, ආගමික ස්‌ථානවලට හා පොදුජන සමාජයට කළ යුතු සේවා සංවිධානය කොට පවත්වාගෙන යාම ආදී වු සමාජයේ පැවැත්මට අයත් කාර්යයන් රැසක් බද්ද සංවිධානවලට පැවරී තිබුණි.
සිංහල පාලන ක්‍රමය යටතේ වු බද්ද සංවිධානය මුළුමනින්ම පෘතුගීසීන් යටතට ගැනුණි. වෙළෙඳ ද්‍රව්‍යය එක් රැස් කර ගැනීමේදී බද්ද සංවිධානය හරහා එය කරගත හැකි වු නිසා පෘතුගීසීන්ට මුදල් ඉතිරි කරගත හැකි විය. මෙකල වැදගත්ම වෙළෙඳ බෝගය වු කුරුඳු වැනි ප්‍රධාන වෙළෙඳ ද්‍රව්‍ය කීපයක්‌ම බද්ද මඟින් නොමිලේ එකතු කරගත හැකි විය.

කුරුඳු සඳහා වූ "මහ බද්ද" මඟින්ද, ඇතුන් හා ඇත්දත් සඳහා වූ "කුරුවේ බද්ද" මඟින්ද, මැණික් "ආකාර බද්ද" මගින්ද, පුවක් සඳහා වූ "කොටිකා බද්ද" මගින්ද වෙළඳ ද්‍රව්‍ය එක් රැස් කොට වියදමකින් තොරවම තොටුපළ දක්‌වා ගෙන යා හැකිවිය. මේ හැර කොට්‌ටල් බද්ද, කින්නර බද්ද, මඩිගේ බද්ද යන බදු සංවිධානයන්ද එකල විය. මේ අයුරින් දේශීය සමාජ සංවිධාන ව්‍යුහය පෘතුගීසීන්ගේ ආර්ථික අවශ්‍යයතා සපුරා ගැනිම සඳහා පහසුවෙන් යොදාගත හැකිවිය. ඒ නිසාම බද්ද සංවිධානයට අයත් දේශීය නිලධාරීන් වෙනස් කිරීමට පෘතුගීසීන් කල්පනා කළේ නැත.


