සෙත් සිරි දෙන මහ ගුණ මුහුදාණන්
සත් හට වන බව දුකට වෙදාණන්
තිත් ගනඳුරු දුරලන දිනිදාණන්
සිත් සතොසින් නමදිමි මුණිදාණන්
ඇම පමණින් පැවසූ මුනි දැන තතු
මෙම හැමදෙන බලවයි දැක්‌විය යුතු
තම තම නැණ පමණින් දැන ගත යුතු
මම නමදිමි සදහම් පහදා සිතු
සිරිමත් බඹ සිරසෙහි පා පිසිනා
සැරියුත් මහ මුගලන් පිළිවෙළිනා
පිළිවෙත් සරු මහ සඟගන සොබනා
මුදුනත් බැඳ නමදිමි බැති පෙමිනා
මනරම් නරදම් සැරිදම් සඟනට
මෙලෙසින් බැතියෙන් අදරින් නම කොට
මෙසෙසින් පෙළදම් නොම දත් දන හට
පවසමි කළ කම් පල දැන් හෙළු කොට
දහමට සරිකොට එළුවෙන් පෙරැ කී
කවියට සිත පහදා සිටැ නිසැකූ
සිහිකොට කඳ පිළිවෙළ දොස් නොයෙකී
නිවණට සපැමිණි සඟ සැට නමෙකී
එබැවින් එළුවෙන් කීවයි අනදාර
නොවමින් බැතියෙන් අදරින් නමසර
සතොසින් ඇසුවොත් මෙ දහම මනහර
සැබැවින් සිදුවෙයි සඟමොක් සිරිසර
බිම ඉඳ සිට කී බණ නාසන්නේ
විමතිවැ උඩ ඉඳැ සිට නාසන්නේ
කැමැතිවැ කීවත් විමසාසන්නේ
එමවද? සඟමොක් සැප සාදන්නේ
සියල් සසර දුක් දුරු කර නොයෙකී
අසල් කරන මොක් සිරි සැප නිසැකී
සියල් සතුනි පින් කරවයි මුනිකී
නොකල් අටෙකි පින්කම් කළ නොහැකී
සිතුවත් බිය කරවන අර තරයේ
වැටුනොත් එක්‌සිය සකිසක් නිරයේ
බලවත් දුක් විඳිනෙව කරදරයේ
මඳකුත් පිණකට නැත අවසරයේ
තිරිසන් ජාතිය උපනත් පව් කොට
අවසන් නොව බිය පවතී පිට පිට
මදසන් සුන් කමකුත් නැත හැම විට
සලසන්නේ කෙලෙසද සිතු පිණකට