පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට යාපනේ ප්‍රාදේශීය පාලකයා වූයේ පරරාජසේකරම්ය. ක්‍රි. ව. 1519 තී පරාරාජ සේකරම් මරා දමා සංකිලි රජවිය. ඔහුට රාජ්‍ය උරුමයක් නොවු බැවින් රාජ්‍ය උරුමය ඇත්තන් පෘතුගීසීන්ගේ සහාය පැතූහ. 1560 දී පෘතුගීසීන් යැවු හමුදාව සමග සටන් කළ නොහැකි වු සංකිලි දකුණු ඉන්දියාවට පැන ගියේ ය. පසුව යාපනය පෘතුගාලයේ රජු යටතේ පාලනය කිරීමට හා කතෝලික ආගම පැතිරවමට පෘතුගීසීන්ට අවසර දීමේ පොරොන්දුව මත නැවත වරක් සංකිලිට යාපනේ රජකම ලබාගත හැකිවිය.
සංකිලිට පසුව යාපනයේ පාලකයා බවට පත් වුයේ කාසි නෛනාර් ඉතා දරදඬු පාලකයෙකි. ඔහුගේ කෲරකම් නොරිස්‌සූ ජනයා පෘතුගීසීන්ගේ ආධාර ඉල්ලුහ. පෘතුගිසි හමුදාවක් පැමිණ නෛනාර් මරා දමා පෙරියපුල්ලේ යන අය පෘතුගීසි යටත් පාලකයා ලෙස පත් කළේය. මොහුගේ කාලයේ යාපනයේ කතෝලික ආගම සීඝූ ලෙස ව්‍යාප්ත විය. හින්දු ආගමික ස්‌ථාන විනාශ කිරීමද මෙකල බහුලව සිදුවිය. මින් කෝපයට පත් යාපනයේ ජනතාව පෙරියපුල්ලේ එලවා දමා පුවිරාජ පණ්ඩාරම් යන අය පාලකයා ලෙස පත්කර ගත්හ. ඔහු පෘතුගීසීන්ට විරුද්ධව කටයුතු කළ නිසා 1591 දී පුවිරාජ මරා දැමූ පෘතුගීසීහු යාපනයේ බලය අල්ලා ගත්හ.
ඉන් අනතුරුව 1591 දීම යාපනයේ නල්ලුර්හිදී අත්සන් කරන ලද නල්ලුර් ගිවිසුමෙන් පෘතුගාලයේ රජු තම රජු ලෙස පිළිගැනීමට යාපනයේ නායකයෝ කැමති වූහ. ඉන්පසු පෙරියපුල්ලේගේ පුත්‍රයා වු හෙන්දර මානසිංහ යාපනයේ පාලකයා ලෙස පෘතුගීසීන් විසින් පත් කෙරිණි. ඔහුගෙන් පසු සිහසුනට අරගල ඇති වු නිසා කොන්ස්‌තන්තීනු ද සූසා නමැති පෘතුගීසි සෙන්පතියා විසින් යාපනයේ රජකම පවරාගෙන එහි ආණ්‌ඩුකරු ලෙස පිලිප්පු ඔලිවේරා පත් කළේය. යාපනේ ද්‍රවිඩ පාලනය එතැනින් අවසන් විය.
