දොන් ජුවන් ධර්මපාල කුමරුවා කෝට්ටේ රජවීම
 

7 වන වන බුවනෙකබාහු රජුට රජකම පැවරීමට පුතෙකු නොසිටි බැවින් තම දියණිය වු සමුද්‍රා දේවි හා වීදිය බණ්‌ඩාරගේ පුත්‍රයා වු ධර්මපාල කුමරුට රජකම පැවරීමට තීරණය කර, ධර්මපාල කුමාරයාට අධ්‍යාපනය ලබා දීම හා රාජ්‍ය පාලන කටයුතු පුහුණු කිරීම සඳහා පෘතුගීසීන්ට බාර දුන්නේය. මෙය පෘතුගීසීන්ට කෝට්‌ටේ රාජ්‍යයේ දේශපාලන කටයුතු වලට කෙලින්ම මැදිහත්වීම සඳහා ලැබුණු මහඟු අවස්‌ථාවක්‌ විය.

ධර්මපාල කුමරු සාදරයෙන් බාරගත් පෘතුගීසීහූ රන් රිදී හා ඇත්දත් වලින් ඔහුගේ පිළිරුවක්‌ තනවා පෘතුගාලයේ තුන්වන ජෝන් රජු වෙත යවා එයට ඔටුනු පළඳවා අභිෂේක කරවූහ. කුමරුට අධ්‍යාපනය ලබාඳීම සඳහා ප්‍රැන්සිස්‌කන් නිකාය අයත් පූජකවරු කීපදෙනෙක්‌ද පෘතුගාලයෙන් පැමිණියෝ ය.

මායාදුන්නේ කුමරා මරා දැමීමට පෘතුගීසීන් බුවනෙකබාහු රජුගෙන් අවසර ඉල්ලු නමුත් රජු එයට අකමැති විය. රජුට කතෝලික ආගම වැළඳ ගන්නා ලෙස පෘතුගීසීන් කළ ඉල්ලීමද රජු ප්‍රතික්‌ෂේප කළේය. මෙයින් උරණ වු පෘතුගීසීහු තම සේවකයෙකු යොදවා රජුට වෙඩි තබා මරා දැමූහ. ඉන්පසු ධර්මපාල කුමරු කෝට්‌ටේ රජු ලෙස ප්‍රකාශයට පත් කෙරුණි.

ධර්මපාල රජු පෘතුගීසීන් අතේ නැටවුණු රූකඩයක්‌ බවට පත්විය. හෙතෙම දොන් ජුවන් ප්‍රොපෙන්දර (පෙරිය බණ්‌ඩාර) නමින් බෞතීස්‌ම ලබා කතෝලික ආගම වැළඳ ගැනීම පෘතුගීසීන් ලැබූ තවත් ජයග්‍රහණයකි.



මේ සිද්ධියෙන් සිත් තැවුලට පත් වීදිය බණ්‌ඩාර පෘතුගීසීන්ට විරුද්ධව කැරලි ගසා කතෝලික පල්ලි කීපයක්‌ද විනාශ කළේ ය. කෝට්‌ටේ රාජ්‍යය තුළ සිටි මහා සංඝයා වහන්සේලා, ප්‍රභූ ජනයා සහ සාමාන්‍ය වැසියන් විශාල පිරිසක්‌ කෝට්‌ටේ අතහැර සීතාවකට ගොස්‌ පදිංචි වූහ.

එවකට සිට දියවඩන නිළමේ දළදා වහන්සේ රැගෙන ගොස්‌ මායාදැන්නේ රජුට භාර කළේය. එය දෙල්ගමුවේ තබා ආරක්ෂා කෙරුණි. සාම්ප්‍රදායික පිළිගැනීම අනුව දළදාව අයිතිවීම නිසා ගිහි පැවිදි ජනයා විශාල වශයෙන් මායාදැන්නේ රජු වටා එක්‌රොක්‌ විය. එය කෝට්‌ටේ රාජ්‍යයේ පිරිහීමටද මුල් විය.

(c) Shilpa Sayura Foundation 2006-2017