පුරාවෘත්ත කතාව
 

සබරගමු සම්ප්‍රදායික " පහන් මඩුවේ " කතා පුවතද පහතරට "දෙවොල් මඩුවේ " පුරාවෘත්ත කතාවටම සමානය.
 
 පුරාණ ඉන්දියාවේ රජකල " සේරීමාන " නම් රජුගේ උයනේ මහා විශාල ගොනෙක්‌ සිටියේය. මේ ගොනා මරා මස්‌ කෑමේ ආශාවක්‌ සේරිමාන රජුට ඇතිවිය. රජුගේ අණ ලද හේවායන් ගෝනා විද මැරීමට ඌ පසුපස එලවාගෙන පැමිණි විට දී එම ගොනා එම උයනෙහි විලකට වැටී මිය ගියේය. ගොනා අවසන් හුස්‌ම හෙලුයේ රජු කෙරෙහි උපන් වෛරයකිනි.
 
 මරණින් පසු එම විලෙහිම මැඩියෙකුව උපන්නේය. විලෙහි මානෙල් මලකට වී ජීවත් විය. දිනක්‌ සේරිමාන රජු එම විලට ස්‌නානය සඳහා පැමිණියහ. මැඩියා ජීවත් වූ අලංකාර මහනෙල් මල දුටු රජු එය කඩා ගෙන නාසයට කර සුවඳ වින්දේය. මල තුල සැගවී හුන් මැඩියා මල සිඹින රජුගේ නාසය තුලින් හිස තුලට රිංගුවේය. එයින් සේරිමාන රජුට මහත් වූ හිසරදයක්‌ ඇතිවිය.
 
 විවිධ ප්‍රතිකාර කළත් මේ හිසරදය සුව නොවීය. දිනක්‌ රජු සිහිනෙන් රූමත් කාන්තාවක්‌ දුටුවේය. නිමිති පල කරන්නන් විසින් එම සිහිනයේ උන්නේ " පත්තිනි දේවතාවිය " බවත්, පත්තිනි දේවියගේ අණ පවතින රටකට ගොස්‌ යාගයක්‌ කළහොත් රෝගය සුවකල හැකි බව ප්‍රකාශ කලහ.
 
 ඒ අනුව සේරිමාන රජතුමා පත්තිනි දේවියගේ අණ පවතින රටක්‌ වන ලංකාවට පැමිණියේය. මෙහි පැමිණි සේරිමාන රජතුමාගේ හිසරදය සුව කිරීම " නවගමුව " දේවාලයේ දී දෙවොල් මඩු ශාන්තිකර්මයක්‌ පවත්වන ලදි. එම ශාන්තිකර්මය පැවැත්වීමෙන් පසු රජුගේ දරුණු හිසරදය සම්පූර්ණයෙන්ම සුවපත් වූ බව කියැවේ. එතැන් පටන් " දෙවොල් මඩු යාග " ශාන්තිකර්මය පැවත් ගෙන එන බව මුඛ පරම්පරාගත කතාවලට අනුව කියැවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017