පහතරට නැටුම් සම්ප්‍රදාය හැදින්වීම
 



ශ්‍රී ලංකාවේ නිරිත දිග සහ දකුණු මුහුදු බඩ ප්‍රදේශවල ප්‍රචලිත නර්තන සම්ප්‍රදායකි. ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌ක වල මෙම නැටුම ප්‍රචලිතය.
 
 පහතරට නැටුම් සම්ප්‍රදායට අයත් ප්‍රධාන වාද්‍ය භාණ්‌ඩය වන්නේ පහතරට බෙරයයි. මෙය යක්‌බෙරය, දෙවොල් බෙරය, රුහුණු බෙරය යන නම් වලින්ද හදුන්වනු ලබයි.


 
 යකුන් , දෙවියන් සහ ග්‍රහයින් වෙනුවෙන් පවත්වනු ලබන ශාන්ති කර්ම රාශියක්‌ මෙම සම්ප්‍රදායේ අන්තර් ගතවේ. මෙම සම්ප්‍රදායට අයත් ප්‍රධාන ශාන්ති කර්මය ලෙස " දෙවොල් මඩුව " ශාන්ති කර්මය හැදින්විය හැකිය. "තෙල්මේ ඇදුම් කට්‌ටලය " දෙවොල් මඩුවේ ප්‍රධාන ඇදුම් කට්‌ටලය වන අතර පහතරට නැටුමේද ප්‍රධාන ඇඳුම් කට්‌ටලයක්‌ ලෙස සැලකේ.
 
 ආධුනික පහතරට නැටුම් ශිල්පියා පළමුව තම පාදය සකස්‌ කරගැනීම සඳහා " පා සරඹ ( දන්ඩියමේ සරඹ ) " හදාරා ඉන් අනතුරුව මූලක අංගහාර ප්‍රගුණ කිරීමට " ඉලංගම් සරඹ " අභ්‍යාසයේ යෙදෙයි. දන්ඩි සරඹ 12 ක්‌ හා ඉලංගම් සරඹ ගණනින් 12 කි.
 
 පහතරට නැටුම් සම්ප්‍රදායට අයත් වන්නම් හදුන්වන්නේ " සින්දු වන්නම් " නමින් වන අතර, සින්දු වන්නම් 32 කින් සමංවිතය.
 
 " කෝලම් " ගැමි නාටකය පහටරට නැටුමේ එන ගැමි නාටකයක්‌ වන අතර, වෙස්‌ මුහුණු පලදිමින් කෙරෙන නර්තනයන් බහුලව දක්‌නට ඇත්තේ පහතරට නැටුම් සම්ප්‍රදාය තුලයි.

(c) Shilpa Sayura Foundation 2006-2017