පෘතුගීසීන් ලංකාවට පැමිණීම 1505
 

ක්‍රි.ව.1505 දී පෘතුගීසි ජාතික ලොරෙන්සෝද අල්මේදා ඇතුළු පිරිස අහම්බෙන් සුළගකට හසුවී ගාලු වරායට පැමිණීමෙන් පසු ලංකාව සමඟ වෙළඳාම් කිරීම සඳහා රජතුමා සමඟ කතාබස්‌ කර ගැනීම ඔවුන්ට අවශ්‍ය විය. ඒ සඳහා කොළොම්තොටට පළමුව යා යුතු විය. අල්මේදා ඇතුළු කණ්‌ඩායම කොළඹට පැමිණ තමාට සිංහල රජු හමුවමට අවශ්‍ය බව සිංහල නිලධාරීන් සමඟ කියා ඇතත් මුස්‌ලිම් වෙළෙන්දෝ එය වැළැක්‌වූහ. කොළඹ නගරයට ගොඩබඩ පෘතුගීසි බටයන්ට සිංහලයන් ලවා පහර දෙනු ලැබුණි.

කාලතුවක්‌කු වෙඩිමුර කීපයකින් මේ විරෝධතාවය නැවැත්වමට පෘතුගීසීන්ට හැකි විය. පෘතුගීසීන් කොළඹට ගොඩබැසීමේ පුවත කෝට්‌ටේ රජුටද සැලවිය.
 




රාජාවලියේ එය මෙසේ දැක්‌වේ.

"අපගේ කොළොම් තොටට ඉතා සුදු පැහැති ජාතියක්‌ බොහෝ රූපශ්‍රීයෙන් යුක්‌තව, යකඩ සැට්‌ට ඇඟලාගෙන යකඩ තොප්පි හිසලාගෙන ගොඩබැස සිටිති. ඔව්හු විගසක්‌ එක තැන නොසිට සක්‌මන් කරන්නාහ. කුඩුගල් සපා කමින් ලේ බොන්නාහ. ඔවුන්ගේ කාල තුවක්‌කුවලින් නැගෙන වෙඩි ශබ්ද සුගන්ධර පර්වතයේ හෙණ හඬටත් දැඩිය. උන්ගේ කාලතුවක්‌කු උණ්‌ඩය ගව් ගණනක්‌ ගොසින් කළුගල් කෝට්‌ටවල්ද පොඩිවෙලා යෙති......."


මේ පුවත ඇසූ කෝට්‌ටේ රජු අමුත්තන් පිළිගැනීමට තීරණය කළේය. හෙතෙම පලතුරු බන්දේසියක්‌ රැගත් දූතයෙක්‌ අල්මේදා හමුවට පිටත් කළේ ය. ඉන් සතුටට පත් හෙතෙම පර්නාවෝ කැට්‌රම් නැමැති නැවියා රජු බැහැදැකීමට පිටත් කර හැරියේ ය. මෙහිඳී සිංහලයන් පෘතුගීසි ජාතිකයන්ව දින දෙක තුනක් ගත කොට ඉතා දුර මගකින් කෝට්‌ටේ රජ වාසලට කැඳවාගෙන ගියහ. රජු සිටිනුයේ ඉතා දුරක බව පෙන්වම එහි අරමුණ විය. "පරංගියා කෝට්‌ටේ ගියා වගේ" යන පිරුළ මේ සිද්ධිය පදනම් කොටගෙන ඇති විය. පෘතුගීසි නාවිකයාට රජු මුණගැසීමට නොහැකි විය. එ‍හෙත් ඔවුන් සමඟ ගිවිසුමකට එළඹීමට රජු කැමති බව ඇමතිවරුන් මඟින් දැන ගැනීමට ඔහුට හැකිවිය.

දෙවන වරට යවන ලද පායෝද සූසා රජු සමඟ ගිවිසුමකට එළඹුණි. ඒ අනුව වාර්ෂිකව කුරුඳු බහාර් 400 ක්‌ (මෙට්‍රික්‌ ටොන් 80 ක්‌ පමණ) පෘතුගීසීන්ට දීමට සිංහල රජු පොරොන්දු වු අතර ඒ වෙනුවට ලංකාවේ මුහුදු වෙරළ ආරක්ෂා කරදීමට පෘතුගීසීහු පොරොන්දු වූහ.
මුස්‌ලිම් ජාතිකයන් හා සිංහලයන් එක්‌ව ආරම්භ කළ පෘතුගීසි විරෝධී ව්‍යාපාරය නිසා කොළඹ අතහැර කොචින්වලට යාමට පෘතුගීසීන්ට සිදුවිය. 1517 දී ලෝපෝසොරෝස්‌ද අල්බගේරියා ප්‍රමුඛ පෘතුගීසි නැව් කණ්‌ඩායමක්‌ ලංකාවට ගොඩබැස්‌සෝය. කොළඹ නගරයේ බලකොටුවක්‌ ගොඩනගන ලෙස ඔහුට පෘතුගීසි අධිරාජ්‍යයාගෙන් නියෝගයක්‌ ලැබී තිබුණි. රජු හමුදාවක්‌ යවා ඔහු එළවා දැමිය.

1518 දී ලෝපෝද බ්‍රිටෝ සෙනෙවියා යුද්ධ සේනාවක්‌ සමඟ කොළඹට පැමිණ බලකොටුවක්‌ ඉදිකිරීම ආරම්භ කළේය. එහිදී සිංහල සේනාව සමඟ දරුණු ගැටුමක්‌ ඇතිවිය. එසේ වුවද තාවකාලික බලකොටුවක්‌ ඉදිකොට එහි ආරක්‌ෂාවට පෘතුගීසීන් කණ්‌ඩායමක්‌ නවත්වා බ්‍රිටෝ ආපසු ගියේ ය. සිංහල හමුදාවට මුස්‌ලිම් සහායද ඇතිව මේ බලකොටුවට පහර දුණි. ඉන් පලක්‌ නොවිණි. අවසානයේ කොළඹ නරගයේ ස්‌ථීර බලකොටුවක්‌ ඉදිකර ගැනීමට පෘතුගීසීන්ට හැකිවිය.

(c) Shilpa Sayura Foundation 2006-2017