යුරෝපා ජාතීන් පෙරදිගට පැමිණීම 1497
 

16 වන සියවසෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය වෙනස් කිරිමට යුරෝපීය බල ව්‍යාප්තිය හේතු වූ අතර යුරෝපා ජාතීන් පෙරදිගට පැමිණීමට පෙළඹවු සාධක පහත පරිදි වේ.


වෙළෙඳාම සඳහා යුරෝපයට භාණ්‌ඩ ලැබුණේ චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, සියම හා ශ්‍රී ලංකාව වැනි පෙරදිග රටවලිනි. එම වෙළෙඳ භාණ්‌ඩ යුරෝපයට බෙදාහරින ලද්දේ කොන්ස්‌තන්තිනෝපල් හා ඇලෙක්‌සැන්ඩ්‍රියා යන ප්‍රධාන වෙළෙඳ හුවමාරු මධ්‍යස්‌ථාන දෙකෙනි.පෙරදිග රටවලට ගොස්‌ වෙළෙඳ භාණ්‌ඩ රැගෙන පැමිණි මුස්‌ලිම් වෙළෙන්දෝ මෙම වෙළෙඳ හුවමාරු මධ්‍යස්‌ථාන වලදී යුරෝපීය වෙළෙන්දන්ට භාණ්‌ඩ අලෙවි කළහ.


ක්‍රි.ව. 1453 දී එ‍තෙක් යුරෝපා ජාතීන් සතුව තිබූ කොන්ස්‌තන්තිනෝපල් නගරය ඉස්‌ලාම් භක්‌තික තුර්කීන් අතට පත්විය. යුරෝපා ජාතීන් පෙරදිගට පැමිණීම සඳහා පෙළඹ වු ප්‍රධාන සාධකය එයයි.


15 වන ශත වර්ශයේ ඔටෝමාන් අධිරාජ්‍යයා විසින් පිහිටවූ තුර්කි අධිරාජ්‍යය මිසරයේ සිට සිරියාව තෙක්‌ පැතිරීම නිසා මුහුදු හා ගොඩබිම් වෙළෙඳ මාර්ග සියල්ල තුර්කිවරුන්ගේ පාලනය යටතට පත්විය. තුර්කීන් විසින් අධික බදු පැනවම නිසා යුරෝපයට පෙරදිගින් ගෙනගිය වෙළෙඳ භාණ්‌ඩවල මිල අධික විය.

අධික බදු නිසා යුරෝපීය වෙළෙන්දන්ට කොන්ස්‌තන්ති නෝපල් නගරයෙන් මිලට ගත හැකි භාණ්‌ඩ ප්‍රමාණයද සීමිත විය. මේ වන විට කුළුබඩු භාවිතය යුරෝපය පුරා පැතිර ගොස්‌ එය අත්‍යවශ්‍ය භාණ්‌ඩයක්‌ බවට පත්ව තිබුණි.

 

එම භාණ්‌ඩවල මිල ඉහළ යාමත් භාණ්‌ඩ සීමිත වීමත් යුරෝපියයන්ට මහත් ගැටලුවක්‌ විය. යුරෝපයේ ප්‍රභූ ජනයාට අවශ්‍ය සුඛෝපභෝගී භාණ්‌ඩ ලබා ගැනීමද ගැටලුවක්‌ විය. වෙළෙඳ භාණ්‌ඩ මිල ඉහල යාම යුරෝපයේ ආර්ථිකයටද අහිතකර ලෙස බලපෑවේය. මෙ අභියෝගය ජය ගැනීම සඳහා යුරෝපීය ජාතීන් වෙළෙඳ භාණ්‌ඩ ලබා ගැනීම සඳහා පෙරදිග රටවලට පැමිණීමට නව මාර්ග සෙවීමට උනන්දු වූහ.


එමගින් ඉන්දියන් සාගරය ඇතුළු පෙරදිග රටවල මුස්‌ලිම් ජාතිකයින් විසින් ගොඩ නඟාගෙන තිබුණ වෙළෙඳ ඒකාධිකාරය බිඳ දැමීමද යුරෝපීයන්ගේ පරමාර්ථය විය.

(c) Shilpa Sayura Foundation 2006-2017