දඹදෙණි විහාරයේ ඇති ගල් කැටයම් වලින් පෙනෙන්නේ දකුණු ඉන්දියානු හින්දු ආගමික කැටයම් කලාව බෞද්ධ විහාර තුළට වැඳී ඇති බවයි. බුද්ධ රූපය සහිත එක් ගල් කැටයමක ශිවලිංගය පුදන බැතිමතුන් දෙදෙනෙකුගේ රූපද කැටයම් කර ඇත. දැනට දඹුළු විහාරයේ ඇති බුද්ධ ප්‍රතිමා හා දේව ප්‍රතිමා වලින් වැඩි කොටසක් ගම්පොළ යුගයට අයත් බව එම විහාරයේ ඉතිහාසය ගැන ලියැවී ඇති පැරණි ලේඛනවලින් පෙනී යයි. එහෙත් මෙම ප්‍රතිමා කවරේදැයි නිශ්චිතව හඳුනාගෙන නැත. යාපහුවේ දළදා මාලිගය අසල මකර තොරණේ ආරුක්‌කුව යට ඇති හිඳි පිළිමය මේ යුගයට අයත් පැරණිම බුද්ධ ප්‍රතිමාව ලෙස හඳුනාගෙන ඇත.
බුද්ධ ප්‍රතිමාවට පිටුපසින් රශ්මි මාලාව නිරූපණය කිරීම මේ යුගයේ ආරම්භය විය. ගඩොලින් හා හුණු බදාමයෙන් ප්‍රතිමා නිර්මාණය කිරීම වැඩි වශයෙන් දක්‌නට ඇත. ලංකාතිලකය, පුසුල් පිටිය හා කටාරම් ගල යන විහාරවල ඇති ලෝහමය ප්‍රතිමා මේ යුගයට අයත් වේ.
බුද්ධ රූප මඟින් බුදැරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණ පිළිබිඹු කරනවාට වඩා බාහිර ලක්‌ෂණ ඉස්‌මතු කර දැක්‌විම මෙකල ජනප්‍රිය වී ඇත. එය හින්දු බලපෑම හා මූර්ති කලාවේ පරිහානි ලක්‌ෂණ පෙන්නුම් කරයි. පැරණි යුගවලඳී බුද්ධ ප්‍රතිමාවල සිවුර දක්‌වා ඇත්තේ ඇඟට ඇලී ගිය අයුරිනි. එහෙත් මෙම යුගයේ එය ඉදිරියට නෙරා ගිය ගැඹුරු රේඛා මඟින් දැක්‌වීම මූර්ති කලාවේ ඇති වු වෙනසකි.
ගම්පොළ යුගයේ ලෝකඩ ප්‍රතිමා තැනීම ජනප්‍රිය විය. දඹුළු විහාරයේ එවැනි ප්‍රතිමා කීපයක්‌ම ඇත. දඹුළු විහාරයේම ඇති වලගම්බා රජුගේ සහ නිශ්ශංක මල්ල රජුගේ යයි සැලකෙන ලෝකඩ ප්‍රතිමා දෙකක් ලංකාතිලක විහාරයේ ඇති 6 වන බුවනෙකබාහු රජුගේ යයි සැලකෙන ලෝකඩ ප්‍රතිමාවත් මේ යුගයට අයත් වේ.
පොළොන්නරු යුගයෙන් පසුව සඳකඩ පහණේ හැඩය වෙනස් ව ඇත. බෙලිගල සඳකඩ පහණ අර්ධ කවාකාර වූවත් දෙකෙළවර දික්‌ව ඇත. එය මධ්‍යයේ පිපුණ නෙළුම් මලක්‌ද ඇත් හා අශ්ව රූප පෙළක්‌ද ගිනිදැල් වටයක්‌ද ඇත. ගවයාගේ රූපය දක්‌නට නොලැබේ. වෙනත් ප්‍රදේශවලින් ලැබුණු සඳකඩ පහන්වලද ඇත්තේ බෙලිගල සඳකඩ පහණේ ඇති ස්‌වරූපයම වේ.
මේ කාලයේ විහාරවල ඇති ගල් උළුවහුවල දක්‌නට ඇති කැටයම් යුගයට ආවේණික විශේෂ ලක්‌ෂණවලින් යුක්‌තය. මෙම උළුවහු ජනේල රාශියකට බෙදා ඇත. නාග, සිංහල, ගජලක්‌ෂ්මී, ගාන්ධර්ව හා කීර්ති මුඛ රූප මෙන්ම පලාපෙති, ගිනිදැල්, අරිම්බු සුළුවැල් ආඳී මෝස්‌තරද යොදා මේවා අලංකාර කර ඇත. මෝස්‌තර බහුලව යොදා ගැනීම මේ යුගයේ කැටයම් කලාවේ විශේෂ ලක්‌ෂණයකි.
ඇම්බැක්‌කේ දේවාලයේ ලී කැටයම් මේ සඳහා දිය හැකි හොඳම නිදසුන වේ. මෙහි ලී කණු සමූහය මත ගොඩනඟා ඇති වහල හැඩ කපන ලද පරාල සමූහයකින් යුක්‌තය. මේ පරාල සියල්ලම කැණිමඬල නම් වු ලී රාමුවකට සවිකර ඇත. මෙහි ලී කණුවල ඇති ජනේලවල නයි පූට්‌ටුව, හංස පූට්‌ටුව, වෘෂභ කුංජරය, භේරුණ්‌ඩ පක්‌ෂියා, ගජසිංහ රූපය. ඇත් පොරය, මල්ලව පොරය, සාර පෙණ්‌ඩියා හා ඇත්කඳ ළිහිණියා ආඳී කැටයම් ඉතා සූකෂම ලෙස කපා ඇත. අශ්වාරෝහක සෙබළා හා පලිහක් අතින් ගත් සෙබළා මෙහි ඇති විශේෂ කැටයම් දෙකකි.
යාපහුව රජ මාලිගයට පිවිසෙන පඩි පෙළ දෙපස ඇති විශිෂ්ට වු කැටයම් සමූහය හා සිංහ රූප කැටයම ඇතුළු මුරගල් කැටයම් මේ යුගයේ කැටයම් කලාවට නිදසුන්ය.