ගෘහ නිර්මාණ
 

වාස්‌තු විද්‍යාව
දඹදෙණි යුගයේ සිට කෝට්‌ටේ යුගය දක්‌වා කාලයේ රාජධානී 5 ක්‌ විය. ඒවායින් රයිගම, දැදිගම හා මහනුවර ද පාලන මධ්‍යස්‌ථාන ලෙස වැදගත් වේ. මේ සියලුම රාජධානි බිහිවීමේ මූලික සාධකය වූයේ ආරකෂාවයි. ස්‌වභාවික වශයෙන් සැලසුන ආරකෂාව හැරුණු විට දිය අගල්, ප්‍රාකාර හා අට්‌ටාල වැනි කෘතිම ආරක්ෂා සංවිධානද මෙම රාජධානිවල ඉදිවිය. ගල් පර්වත කේන්ද්‍ර කොටගෙන ඉදිවු රාජධානි අතුරින් ඉතා වැදගත් නිර්මාණ දක්‌නට ලැබෙන්නේ යාපහුවේය. පිටත දිය අගල, ඇතුල් ප්‍රාකාරය හා පවුරු දෙකකින් හා දිය අගල් දෙකකින් ආරක්ෂාව ලැබූ ගල මත බලකොටුව එහි විශේෂ ලක්‌ෂණයන්ය. යාපහුව නගරයේ දකුණ හා ගිනිකොණ දිශාවන් පවුරු හා දිය අගල් වලින් ආරක්ෂා කෙරුණු අතර උතුරු දිශාව යාපහු පර්වතයෙන් ආරක්ෂා ව ඇත. ඇතුළු නුවර රජ මාලිගයක හා තවත් ගොඩනැගිලි කීපයක නටබුන් දක්‌නට ඇත.

 

 

 

 

 


හමු ව ඇති නටබුන් අනුව යාපහුවේ රජ මාළිගය විශාල දෙමහල්
ගොඩනැගිල්ලක්‌ බව පෙනී යයි. රජ මාලිගයට පිවිසීම සඳහා නිමකර ඇති සෙල්මුවා පියගැටපෙළ වර්තමානයේ පවා අතිශය දර්ශනීය නිර්මාණයක්‌ ලෙස ශේෂව පවති. පඩි පෙළ දෙපස පිහිටුවා ඇත්තේ මේ බැමිවලය. යාපහුවේ රජ මාලිගය ඇතුළු බොහෝ ඉදිකිරීම්වලට ද්‍රවිඩ ආභාසය ලැබී ඇති බවද පෙනේ.

යාපහුවේ දළදා මාලිගය ලෙස දැනට හඳුන්වන ගොඩනැඟිල්ල නියම සිංහල ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයට අනුව ඉදි ව ඇත. එම ගොඩනැගිල්ල යාපහුව රාජධානි යුගයට වඩා පැරණි බව ඉතිහාසඥයන්ගේ මතයයි.
 දඹදෙනියේ දළදා මාලිගාව

ගම්පොළ රාජධානි සමයේ සිංහල ගෘහ නිර්මාණය ශිල්පයේ දැඩි පරිවර්තනයක්‌ සිදුව ඇත. මෙකල ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි වු ගොඩනැගිලි රැසක්‌ ඇත. මේ සඳහා ගත හැකි හොඳම නිදසුන ගඩලාදෙණි විහාරයයි. දකුණු ඉන්දියානු ශිල්පියෙකු වු ශංකරාචාර්ය විසින් ඉදිකරන ලද මෙය දකුණු ඉන්දියානු ආන්ද්‍රා ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාසය පෙන්වයි. ගලින් ඉදිකොට ඇති මෙහි වහල ගඩොලින් නිමවා ඇත. දැව භාවිතය දක්‌නට නැත.

 
ගඩලාදෙණිය විහාරයේ විජයොත්පාය නමින් හඳුන්වන ශෛලමය ඉහත ගොඩනැඟිල්ල ලාංකික හා දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පයන්ගේ අපූරු සංකලනයකි. එහි බිම් සැලැස්‌ම ගෘහ නිර්මාණ අංග සුවිශේෂ ලක්‌ෂණවලින් යුක්‌තය.


ගල් තලාවක්‌ මත ඉදිකර ඇති ලංකාතිලක විහාරයද දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිව ඇත. විහාරය වටා ඇති බිත්ති මෙකල ජනප්‍රිය වෙමින් පැවති හින්දු දේව රූප මූර්තිමත් කර ඇත. එකම ගොඩනැගිල්ලක්‌ විහාරය හා දේවාලය ලෙස ඉදිවීම ඉන් ආරම්භ විය. බෞද්ධ විහාර නිර්මාණවල සාමාන්‍ය ලක්‌ෂණයක්‌ ලෙස මින්පසුව විහාර තුළ දේවරූප ඉදිකිරීම දක්‌නට ලැබේ. ගම්පොළ යුගයට අයත් නියම්ගම්පාය විහාරය අනුරාධපුර ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකර ඇත. මේ සඳහා ගල්, ගඩොල් හා ලී යන මාධ්‍ය තුනම භාවිත කර ඇත. 

 ලංකාතිලක විහාරය


 

මහනුවර ආදාහන මළුවේ ඇති ගෙඩිගේ සහ නාථ දේවාලය යන ගොඩනැඟිලි දෙක ගම්පොළ යුගයට අයත් ලෙස සැලකේ. මේවා දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සාදා ඇතත් එහි වහලවලට හින්දු ගොඩනැඟිලිවල යොදා ඇති ශිඛර වෙනුවට ස්‌තූප යොදා බෞද්ධ මුහුණුවරක්‌ ලබාඳී ඇත. කෝට්‌ටේ රාජධානිය තුළ තිබූ රජ මාලිගා, ප්‍රභූ නිවාස හා විහාර දේවාල ගැන තත්කාලීන සාහිත්‍ය මූලාශ්‍රවල විස්‌තර වර්ණනා ඇතත් පෘතුගීසි යුගයේ මේවා විනාශ ව ඇත. නවන ගොඩනැඟිලි ඉදිකිරිම නිසා පැරණි නටබුන් සොයාගත

නොහැකිය. කෝට්‌ටේ යුගයේ ප්‍රසිද්ධ පිරිවෙන් පිහිටා තිබූ ස්‌ථානවල තවමත් පුරාවිද්‍යා ගවේෂණ පවා සිදුකර නොමැත.

 නාථ දේවාලය

 

 දෙගල්දොරුව විහාරය - ගම්පොළ යුගය



 බෙල්ලන්විල විහාරය - කෝට්ටේ යුගය

(c) Shilpa Sayura Foundation 2006-2017