ඒ.සී.ජී.එස්‌. අමරසේකර
 

ඔවුහු එක්‌ව හිඳ එකට අධ්‍යාපනය ලැබූහ. ඉගෙන ගත්හ. ඒ ගල්කිස්‌සේ ශාන්ත තෝමස්‌ විද්‍යාලයෙනි. ඔවුහු එක්‌ව එකම ආයතනයේ රැකියාව කරණු ලැබූහ. සේවය කළහ. ඒ මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ ය. ඔවුහු එම රැකියාවලින් අස්‌ වුහ. අයෙක්‌ දේශපාලනය තෝරා ගත්හ. අයෙක්‌ කලාව තෝරා ගත්හ.


දේශපාලනය තෝරාගත්තේ මෙරට නිදහස්‌ ගමනේ පෙර ගමන් කරුවෙකු වු නිදහස්‌ ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්‌. සේනානායකයන්ය. කලාව තෝරා ගත්තේ කවරෙක්‌ද? ඒ අන් කවරෙක්‌ නම් නොවේ. මෙරට කලා කටයුතු නැන්වීමේ පෙරගමන් කරුවෙකු වූ වාසල මුදලිඳු ඒ.සී.ජී.එස්‌. අමරසේකර සිත්තරාය.

ඒබ්‍රහම් ක්‍රිස්‌ටෝපර් ග්‍රැගරි සුරිය ආරච්චි අමරසේකර ක්‍රි.ව. 1883 මාර්තු මස 02 දින දොඩන්දූවේ දී උපත ලැබීය. පියා මොරටුව වේල්ස්‌ කුමාර විදුහලට යාබද දෙව් මැදුරේ විසු දේව ගැතියෙකු වු ඒ. එස්‌. අමරසේකර දේවගැතිතුමාය. ඔහු ද සිත්තරයකි. ආන්නද කුමාරස්‌වාමි මාවතේ පිහිටි කලා භවන ගොඩනැගිල්ල ගොඩනැගීමට පුරෝගාමි වු යටත් විජිත පාලන සමයේ මෙරට බිහිවු යුරෝපා චිත්‍ර සම්ප්‍රදාය රැකගත් අමරසේකර සිත්තරා කුඩා කළ සිටම චිත්‍ර ශිල්පයට දැක්‌ වුයේ දැඩි ඇල්මකි. උපන් හපන් කමකි.


සහජ දක්‌ෂතාවයකි. හෙතෙම පාසැල් යාමට පෙර සිටම වැල්ලේ චිත්‍ර ඇන්දේය.

යමි විවේකයක්‌ ඉඩක්‌ ලැබුණි ද ඒ හැමවිටම ඔහු මොකක්‌ හෝ අදිනු දැකිය හැකි විය. සිත්තමට නිගිනු දැකිය හැකි විය. එතුමා අත් පොත් තැබුවේ මොරටුවේ වේල්ස්‌ කුමාර විදුහලෙනි. පාසැලට ඇතුල්වු මුල්ම දිනයේ, උප විදුහල්පතිතුමාගේ රුව හොදට මතකයේ තැම්පත් කර ගෙන ගෙදර පැමිණි පුංචි ඒබ්‍රහම් එය විකට රුවකට නැගීය. ඒ හේතු කොටගෙන පියාගෙන් හොදහැටි ගුටි කෑවේය. මොරටුව වේල්ස්‌ කුමාර විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව එතුමා ශාන්ත තෝමස්‌ විදුහලට ඇතුළත් විය. ඩි. එස්‌. එස්‌. සේනානායක අගමැතිදුන් කතානායකවරයෙකු වු ප්‍රැන්සිස්‌ මොලමුරේ මැතිදුන් මෙතුමත් සමග එකම පාසලේ එකට හිද අධ්‍යාපනය ලද අය අතර වුහ. එහිදී අමරසේකරයන් ඩෝමැට්‌රි නම් ඉංග්‍රිසි සගරාවට කාටුන් ඇන්දේය. මෙතුමා හා පුරා කියා චිත්‍ර තරගයකට නිර්මාණයක්‌ ඉදිරිපත් කළේ 1903 දී ලංකා කලා සංගමය විසින් පවත්වන ලද චිත්‍ර තරගයටය. එයද ඉදිරිපත් කළේ ශිෂ්‍ය නිවාසයේ පාලකවරයාගේ ඉල්ලීම පිටය. "පුස්‌ පැටියා" නම් එම දියසායම් සිත්තමට වසරේ හොදම සිත්තම ලෙස තෝරාගනු ලැබීය. ඊට ප්‍රථම ස්‌ථානයට හිමි ත්‍යාගයද හිමි විය.


එතුමා වයස අවුරුදු 19 දී වානිජ චිත්‍ර කලාව ඉගෙන ගත්තේය. ඊට ටික කලකට පසු රජයේ මිනින්දෝරු කාර්යාලයේ චිත්‍ර ඇදීමට පත් විය. ඩී. එස්‌. සේනානායක මහතා ද මෙහි සේවය කළේය. එහෙත් දෙදෙනාම එහි වැඩි කලක්‌ සේවය නොකළහ. ඉන් අස්‌වූහ. ඩි. එස්‌. සේනානායක දේශපාලනයට පිවිසියේය. අමරසේකර චිත්‍ර කලාවට පිවිසියේය.


ඉන් අනතුරුව අමරසේකර එවර්ග්‍රීන් සගරාවේ කාටුන් චිත්‍ර ශිල්පියා ලෙසත් මරදානේ කාර්මික විද්‍යාලයේත් ශාන්ත ජෝශප් විද්‍යාලයේත් කාන්තා විද්‍යාලයේත් චිත්‍ර කර්ම ගුරුවරයා ලෙසත් සේවය කළේය. 1908 දී ආධුනික කලාකරුවන්ට අතදීම වස්‌ "ඇට්‌ලියර්" නම් චිත්‍ර කලායතනය පටන් ගනු ලැබීය. සර් ජෝන් කොතලාවල හැරල්ඩ් සොයිසා, කොළඹ බ්‍රිෂොප්තුමා, බ්‍රිගේඩියර් ජයවර්ධන, ජස්‌ටින් දැරණියගල, පී.ඊ.පි දැරණියගල, එම්.වි.පි. පීරිස්‌, මහාචාර්ය සි.සි. ද සිල්වා ජි. එස්‌. ප්‍රනාන්දු මේ චිත්‍ර පාසලේ ඉගෙන ගත් සිසු දරුවෝ අතර වුහ. මේ අය අතරින් ඇතමෙක්‌ පසු කලෙක ප්‍රවීන චිත්‍ර ශිල්පිහු වූහ.


1924 දී එංගලන්තයේ ඇකඩමි ප්‍රදර්ශනයේදි ලෝක ශිල්පීන් හා එක්‌ව නියෝජනය කළ අමරසේකර 1935 දී සිය පූත්‍ර මභාචාර්ය ඩග්ලස්‌ අමරසේකර හා එක්‌ව එංගලන්තයේදී චීත්‍ර ප්‍රදර්ශනයක්‌ පවත්වනු ලැබීය. කලා සංගමයේ සාමාජිකත්වය ලැබූ මෙතූමා එම ප්‍රදර්ශන කමිටුවෙ ලේකම් වශයෙන්ද, 1910 සිට 1923 දක්‌වා සමිතියේ ගරු ලේකම් වශයෙන්ද කටයුතූ කරණු ලැබීය. 1926 සිට 1958 දක්‌වා එහි උප සභාපති විය. 1959 සිට 1969 දක්‌වා සභාපති විය. 1970 සිට එහි ප්‍රධාන අනුශාසක වරයා වශයෙන් කටයුතූ කළේය.


කලා භවන (කලා සංගමි) ගොඩනැගිල්ල සැලසුම මෙතූමාගේය. එය අදියර කීපයක්‌ ඔස්‌සේ ඉඳිකරදීමට මෙතූමා පුළුල් දායකත්වයක්‌ සපයනු ලැබිය. මෙතූමා පැස්‌ටල්, දියසායම් හා තෙල්සායම් යන මාධ්‍යය තූනෙන්ම දස්‌කම් පෑ සිත්තරෙක්‌ විය. භූමි දර්ශන, චිත්‍ර සම්පිණ්‌ඩන හා ප්‍රතිරුප ඇදිමේ දක්‌ෂයෙකූ විය. යුරෝපා චිත්‍ර සම්ප්‍රදාය ගරුකළ අමරසේකර දීප්තිමත් වර්ණ මාතෘකාවට අදාළ අයුරින් යොදනු ලැබිය. චිත්‍ර සඳහා විශාල ප්‍රමාණයේ වර්ණ යොදා ගැනිම මෙතූමාගේ සිරිත විය.


අප සිත්තරා ප්‍රතිරුප හෙවත් ලේඛණ චිත්‍ර විශාල ප්‍රමාණයක්‌ නිර්මාණය කළ සිත්තරෙකි. මහත්මා ගාන්ධි, රවින්ද්‍රනාත් තාගෝර්, ජවහල්ලාර් නේරු, අනගාරික ධර්මපාල, ඩි.එස්‌. සේනානායක, එස්‌. ඩබ්ලිව්. ආර්. ඩි. බණ්‌ඩාර්නායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ආචාර්ය ඩබ්ලිව්. දසනායක, සර්. ඔලිවර් ගුණතිලක, ජේ. ආර්. ජයවර්ධන, ඩී. ආර්. විජේවර්ධන, එසේ සිත්තමට නගන ලද අය අතර වුහ.


පැස්‌ටල් මෙන්ම දිය සායම් හා තෙල් සායම් මාධ්‍යය තුළින් භුමි දර්ශන තාත්වික අයුරින් දැක්‌වීමට අපූරු සමත් කමක්‌ දැක්‌වීය. මේ අතර රෝස්‌මිඩ් පුලේස්‌ චිත්‍රය වෙසෙසින් සඳහන් කළ යුත්තකි. දුඹුරු කොළ වර්ණ බහුලව යොදා ඇති මෙය කුඩා තෙල් සායම් චිත්‍රයකි. මෙතුමාගේ අනෙකුත් චිත්‍රයන් අතර 1940 දී නිර්මාණය කරන ලද ' යකදුරාගේ දියණිය ' ' දිළිදු බව ' යන චිත්‍ර දැඩි ලෙස විචාරක අවධානයට ලක්‌ වු චිත්‍ර වේ. යකදුරාගේ චිත්‍රයෙන් වෙස්‌ මුහුණු එල්ලු අදුරු කුටියක වැසු දොර පාමුල ගිණි සිළුවක්‌ දැක තැතිගෙන සිටිස කාන්තාවකි. බියකරු නාග රාක්‌ෂ මුහුණු මෙම සිද්ධියට හේතු විය. කාන්තාවගේ සෙවනැල්ල මද කළු පැහැයෙන් යුක්‌තය. එය ප්‍රේක්‌ෂකයාට බිය උපදවනු ලබයි. උඩක්‌කිය මුල්ලක දිස්‌වෙයි. සාර්ථක නිර්මාණයකි.


"දිළිදු බව" නම් චිත්‍රයෙන් අපෙක්‌ෂා භංගත්වයට පත් වුවෙකු දිස්‌ වේ. ඔහුගේ මෙවලම් මල්ල බිම වැටී මෙවලම් සී සී කඩ විසිරී ඇත. අසල ඇති ලනු ඇදේ වකුටු වී රෙදි කැබැල්ලක්‌ පොරවා නිදන වැඩිමහල් දරුවාය. මුල්ලෙහි රෙදි වැලකි. අත දරුවා බිමය. දැඩි ශෝකයෙන් බර වු ඇස්‌ ඇති බිරිද ශෝකයෙන් සිය ස්‌වාමියා දෙස බලා සිටී. ජනේලය වැසෙන සේ යෙදූ පිජාමා රෙදි කැබැල්ල උඩින් සුදු එලියක්‌ ගෙට වැටී තිබේ. යොදන ලද අදුරු පැහැ මලානික වර්ණ අවස්‌ථා නිරූපණයට අතිශයින් උචිතය. කැන්වසයේ තෙල් සායමින් ඇඳි මෙම සිත්තම උසස්‌ නිර්මාණයකි.


වික්‌ටෝරියානු කලාව රැක ගැනීමට අතහිත දුන් මෙම සිත්තරාට 1940 දී පස්‌ වන ජෝර්ඩ් මහ රජතුමන් විසින් ඕ.බි.ඊ. යන ගෞරව නාමයද පිරිනමනු ලැබීය. අමරසේකරයන් ජගත් කීර්තිය දිනූ මැජික්‌ ශුරයෙක්‌ ද විය. 1639 දී එංගලන්තයට ගිය හෙතෙම එහිදී මැජික්‌ ශිල්පය හදාරා තම දස්‌කම් දක්‌වා ලන්ඩන් මිත්‍ර පක්‌ෂයේ මැජික්‌ කවයේ ගෞරවාදරයටද පත් විය. දෙවන ලෝක සංග්‍රමයේදී මිත්‍ර පක්‌ෂයේ රණවිරුවන් පිනවන්ට රට රටවල මැජික්‌ සංදර්ශන පවත්වනු ලැබීය. "සිලෝන් මැජික්‌ සර්කල්" නම් ලංකා මැජික්‌ කවය ඇරැඹීමේ පුරෝගාමියා විය.


රුසියාවේ මෙන්ම ඇමරිකාවේ ද මැජික්‌ සංදර්ශන පවත්වනු ලැබීය. ඇමරිකාවේ නිව්යෝක්‌ මැජික්‌ කරුවන්ගේ සංගමය අමරසේකරගේ දක්‌ෂතා අගයමින් එතුමාට උපහාර පිණිස ගෞරව සම්මානයක්‌ද පිරිනැමීය. 1983 දී එතුමාගේ සියවැනි ජන්ම දිනය දා එතුමාට ගෞරව පිණිස කොළඹ හැව්ලොක්‌ ටවුමේ ඩෝසන් පාර 'අමරසේකර මාවත' ලෙසද නම් කරණු ලැබීය. මෙම අසහාය කලාකරුවා සියක්‌ ආයු විද 1983 මාර්තු මස 29 වන දින අභාවප්‍රාප්ත විය.

(c) Shilpa Sayura Foundation 2006-2017