ආනන්ද සමරකෝන්
 

ආනන්ද සමරකෝන් යන නාමය ඇසෙත්ම අපේ මතකයට නැගෙනුයේ අපේ බසට මිහිරි තනු හා රිද්ම සංයෝග කළ ගැමි සුවඳ වහනය වන පුංචි සුදා සුදු කැටියා, එන්ඩද මැණිකේ මමත් දියඹටා, ඇසේ මධුර ජීවනයේ ගීතා, බැස සීතල ගගුලේ පීන පීන නාමුකෝ නගෝ, සිරිසර සාර කෙතේ, හේවිසි හොරනෑ ගංටා නාදේ යනාදී ගී රැසක්‌ එක්‌කල ශ්‍රී ලංකා ජාතික ගීයේද නිර්මාතෘ වරයා වු ගේය පද රචකයෙකි. මධුර මනෝහර හඩකින් ගීත ගායනා කළ ගායකයෙකි. සිංහල සංගීතයට දේශජ රුව කැටි කළ සංගීතඥයෙකි.



එ‍හෙත් එතුමා සුරු විරුකම් පෑයේ, හුරු බුහුටි කම් පෑයේ ගේයපද රචනයෙහි, ගායනයෙහි, සංගීතයෙහි පමණක්‌ නොවේ. එතුමා පෑන්
තුඩ මෙන්ම තෙලිතුඩ ද හැසිරූ චිත්‍ර ශිල්පියෙකු විය. පෑන් තුඩිගින් මෙන්ම තෙලි තුඩින්ද සුරු විරුකම් පෑ, හුරු බුහුටි කම් පෑ දෙස්‌ විදෙස්‌හි සුපතල සිත්තරෙකු විය. එතුමා සිය කලා ජීවිතය ඇරඹුවේ චිත්‍රයෙනි.

1911 ජනවාරි 13 වැනි දින කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පාදුක්‌ක ප්‍රදේශයේ ලියන්විල ගමේ උපන් ආනන්ද සමරකෝන් ශුරින්ගේ පියා එ‍ගොඩ සැමුවෙල් සමරකෝන්ය. හෙතෙම වෘත්තියෙන් යුරෝපීන්ට අයිති වතු යායක ලිපිකරුවෙක්‌ විය. මව දොමින්යෙන් පීරිස්‌ මැතිනියයි. ඇය ගුරුවරියක්‌ වුවාය. ක්‍රිස්‌තියානි පවුලක තුන්වැනියාව උපන් ඔහුට මාපියන් තැබූ නම ජෝර්ජ් ඇල්ප්‍රඩ්ය. සීයාගේ ගෙදර නැවතී පිළියන්දල වෑවල ආණ්‌ඩුවේ පාසලේ ඉගෙන ගත් පුංචි ජෝර්ජ් ඇල්ප්‍රඩ් වැඩි දුර අධ්‍යාපනය ලැබුවේ අද ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය නමින් හදුන්වන කෝට්‌ටේ ක්‍රිස්‌ටියන් කොලිජියේය. පාසැල් හැරයාමේ විභාගයෙන් සමත් වු ජෝර්ජ් එම කොලීජියේම චිත්‍ර හා සංගීත ගුරුවරයෙකු ලෙස බැඳුණි.


අනතුරුව ඉන්දියාවට ගොස්‌ රවීන්ද්‍රනාත් තාගෝරයන්ගෙන් ශාන්ති නිකේතනයට බැදී චිත්‍ර ශිල්පයත් විශ්ව භාරතීය සංගීතයත් හදාරණු ලැබීය. ශාන්ති නිකේතනයට ගියේ ජෝර්ජ්ය. ඉන් ආපසු ආයේ ආනන්දය. ශාන්ති නිකේතනයට ගියේ ක්‍රිස්‌තු භක්‌තිකයෙකි. ඉන් ආපසු ආයේ බෞද්ධයෙකි.


නැවත ගුරු වෘත්තියට ඇතුලත් වූ ආනන්ද සමරකෝන් ශූරින්ගේ ගාල්ලේ මහින්ද, අම්බලන්ගොඩ ධර්මාශෝක, හික්‌කඩුවේ ශ්‍රී සුමංගල, බලපිටියේ සිද්ධාර්ථ, කොළඹ ආනන්ද, ආනන්ද බාලිකා යන විදුහල් වල චිත්‍ර හා සංගීත ගුරුවරයා ලෙස සේවය කළේය. අප කලාකරුවාණන්ගේ පෑන් තුඩට මෙන්ම තෙලි තුඩටද හසු වූයේ මෙරට ජන ජීවිතය ය. ගැමි සමාජය ය. තම වටපිටාවය. එමෙන්ම බුදු දහම ඇසුරෙන් ලද පෝෂණයෙන් හා රවින්ද්‍රනාත් තාගෝර් චින්තනය තුළින් ලද ප්‍රභාවයත් මෙම චිත්‍ර වලින් මනාව පිළිබිඹු වේ.


පැතලි වර්ණාලේප ක්‍රමය මිශ්‍ර වර්ණ භාවිතය ප්‍රිය කළ අප සිත්තරාණන් සුදු මිශ්‍රණය හා කඨෝර වර්ණ භාවිතය අත් හරිනු ලබයි. රේඛා ප්‍රාණවත්ව නොකැඩී ගලා යන්නට ඉඩ හරියි. පිට රේඛා ඇතුළතින් සුදු රේඛාමය. හැඩය ඉතුරුවන සේ ඇඳ දැක්‌වීමේ සම්ප්‍රදායික ලක්‌ෂණය ගරු කරයි. ගස්‌ හා පදුරු පදාස වශයෙන් රිද්මයානුකූලව ඇඳ දක්‌වනු ලබයි. පර්යාය ලෝක රීතිය උල්ලංඝණය නොවන සේද, සංගත වර්ණ භාවිතයෙන්ද පසුබිම් හැඩතල තුළින්ද චිත්‍රයට ජීවයක්‌ ලබාදෙනු ලබයි. 1983 දී එතුමා ජීවත්ව සිටියදී අඳින ලද ප්‍රදර්ශනයක්‌ කොළඹ කලා භවනේදී පැවැත්වුණි. ජාතික කලා පෙරමුණ විසින් සංවිධානය


කරන ලද එම චිත්‍ර ප්‍රදර්ශනයට සිතුවම් 90 ක්‌ ඇතුලත් විය. "අති ප්‍රබල පරමානුව" නම් චිත්‍රය බෞද්ධ තේමාවක්‌ මුල්කොට ගත්තකි. චිත්‍රයෙහි සියලු බලවේගයන් මැඩ බුදු රජාණන් වහන්සේ නිරුපද්‍රිතව ඉදිනා අයුරු නිරූපණය කර ඇත."ඔබට කැකුළක්‌ මලක්‌ කළ නොහේ" යන චිත්‍රය තාගෝර් චින්තනය මුල්කොට ගත්තකි. කැකුළක්‌ පුබුදු කඳාළ හැක්‌කේ ස්‌වභාව ධර්මයාට යන ව්‍යංගාර්ථය රසිකයා තුළ දැනවීමට මෙහිදී අප සිත්තරාණන් සමත් වී සිටී. "දරුණු චේතනා" නම් චිත්‍රයෙන් ගැහැණියක්‌ දෙසට සතර දෙසින් යොමුවන විවිධ වර්ණිත දෑස්‌ සමූහයක්‌ එල්ලවන අයුරු දැක්‌වේ. මෙම චිත්‍රය ආනන්ද සමරකොන් සිත්තරාණන් තම අදහස්‌ නිර්මාණාත්මකව හා අර්ථවත්ව විග්‍රහ කිරීමේ උසස්‌ ප්‍රතිභාවක්‌ ඇති සිත්තරෙකු බව දැක්‌වීමට මාහැගි නිදසුනකි.


ආනන්ද සමරකෝන් සිත්තරාගේ බොහොමයක්‌ සිත්තම් වලට පසුබිම් වී ඇත්තේ, මාතෘකා වී ඇත්තේ මෙරට ගැමි දිවියයි. ජන ජීවිතයයි. ගොවිබත, දර රැස්‌ කිරීම, වත්ත පහළ යන සිත්තම මීට නිදසුන් කොට දැක්‌විය හැකිය. "ගොවිබත" තම චිත්‍රයෙන් ගොවියා නියර මත වාඩි වී කොළ පතේ ලූ බත බුදියි. පසෙක දිය කළය හා පැන් බඳුනකි. ඒ අසල ගොවිලිය බලා සිටී. ඇය සුන්දරය. දැකුම්කලුය. "දර රැස්‌කිරීම" නම් චිත්‍රයෙන් දැක්‌වෙන්නේ කැලෑ රොදක දර කඩන ගැමිලියන් පිරිසකි. එකියක්‌ දර කෝටු කැබැල්ලක්‌ දන හිසට අල්ලා කඩයි. තවෙකෙක්‌ ගසක වු දර අත්තක්‌ බිඳියි. කැලෑ රොද දැකුම්කලු අයුරින් දැක්‌වෙ. "වත්ත පහළ" වම් චිත්‍රයෙන් දැක්‌වෙන්නේද ගොවි දිවියක තවත් අවස්‌ථාවකි. ගොවියා ගසක්‌ මුල වාඩිවී විවේක සුව ලබයි. ගෙවිලිය අව්වේ රෙදි වියලයි. කුඩා දියණිය ඒ අසල සිටී. සිත්තමේ සමබරතාවය රැකීමට මෙහිදී සමත්ව සිටී.


"මාරක ගමන" නම් චිත්‍රය ජ්‍යාමිතික හැඩතල අනුව ස්‌වාභාවිකව දර්ශනයක්‌ චිත්‍රයට නැගුවකි. 1909-12 යුරෝපයේ ඝනිකවාදී කලාවේ විශ්ලේෂණ අවධියේදී වස්‌තුවක බාහිර හැඩය බිඳ දමා එහි විග්‍රහය තුලනාත්මක ජ්‍යාමිතික තල කීපයකින් සම්බන්ධකර චිත්‍ර නිර්මාණය කිරීමට පිකාසෝ, බාක්‌ වැනි අය උත්සහ ගනු දැකිය හැකිය. අප සිත්තරාගේ මාරක ගමන චිත්‍රයද එම ශෛලියද අත් හැදු බවට දැක්‌විය හැකි මා හැගි නිදසුනකි. "ආශිර්වාදය" නම් චිත්‍රයෙන් ශුද්ධ වු මරිය තුමී ජේසු බිළිදා උකුලේ තබා සුරතල් කරන අයුරු දැක්‌වෙන්නකි. එම චිත්‍රය අප සිත්තරාගේ විහිදී ගිය ආගමික වටපිටාව හා දැනුම මොනවට විදහා පාන්නකි.


රේඛාවෙන් පුද්ගල ස්‌භාවයන් මතු කිරීමට ගත් ප්‍රබල උත්සහය සාර්ථක ප්‍රතිඵලයක්‌ ලෙස අප සිත්තරාගේ "විරුදුකාරයො" සිත්තම දැක්‌විය හැකිය. මැදිවියේ පිරිමි දෙදෙනෙකුගේ උඩුකය මෙහි දැක්‌වේ. ඔවුන්ගේ ජීවිතයේ කටුකත්වය මේ රේඛා තුළින් මනාව ඉස්‌මතු වේ. ඉදිරියෙන් සිටින තැනැත්තා රබාන වයන අයුරක්‌ දිස්‌ වේ. චීත්ත රෙදි කඩකින් ඔහුගේ දකුණු උර වසා ඇත. ගිගිරි වළලු ඔහුගේ දකුණතෙහි ද වම් අත මැණික්‌ කටුවෙහි කලු නූලක එල්ලු සුරයක්‌ද එම අත ඉහල කොටසේ තවත් සුරයක්‌ද දක්‌වා ඇත. හිස කෙස්‌ මුහුණට වැටීම වලක්‌වනුයේ හිද බැඳි රෙදි කඩකිනි. මොහු පසුපස තවත් අයෙකි. ඔහුගේ උඩු කය පෙරවු රෙද්දකි. ඔහුගේ හිස කෙස්‌ බොකුටුය. මනාව පීරා ඇති සේය. ජීවිතයේ කටුකත්වය රේඛා වලින් මතු කර ලැබ ඇති අතර විරිදු වලින් මතුවන සියුම් චමත්කාර වර්ණ වලින් එළි දක්‌වා ඇත. මේ තත්වය මත මෙම චිත්‍රය නිර්මාණාත්මක අතින් ඉතා ඉහල තලයක වැජබෙන සිත්තමක්‌ ලෙස විචාරකයන් විසින් හදුන්වාදෙනු ලැබ ඇත.


ගායකයෙකු සංගීතඥයෙකු ලෙස ආනන්ද සමරකෝන් ශුරින් කෙරේ දැක්‌වු බලපෑම චිත්‍ර තුලින් ද ඉස්‌මතු වී පෙනේ. එතුමාගේ ගේය පද රචනයන් වු එතුමා විසින්ම සංගීතය සපයා එතුමා විසින් ගායනා කරණු ලැබු "පුදමු මේ කුසුම්" "එන්ඩද මැණිකෙ මමත් දියඹටා" වැනි ගීත එනමින්ම සිත්තමට නගා ඇත. ගීතයන්හිදී මෙන්ම සිත්තම් වලදීද සුඛ නම්‍ය, ප්‍රාණවත් හා සජීවි බවක්‌ මේ සිත්තමෙහි දැකිය හැකිය.


මේ අයුරින් සිත්තමට පුලුල් දායකත්වයක්‌ සපයනු ලැබූ අප සිත්තරා විවිධ මං ඔස්‌සේ සිය කලා කෞශල්‍යයන් දැක්‌වු අයෙක්‌ බවට මා ඔබට අමුතුවෙන් කිව යුතු නැත. ආරම්භයේදිම ඒ පිළිබඳ පුංචි සටහනක්‌ තැබීමි. එසේ වුවද පාලකෙයෝද, ඇතැම් පුද්ගලයෝද මේ කලා කරුවාණන්ට නිදහසේ සිය කලා කටයුතු කරගෙන යෑමට ඉඩ නුදුන්හ. ඇතෙමෙක්‌ ජාතික ගීයට හිමිවිය යුතු කර්තෘ භාගය පවා උදුරා ගත්හ. පාලකයෝ එතුමා තැනින් තැනට මාරු කළහ. අන්තිමේදී රැකියාවෙන්ද නෙරපූහ.


මේ තත්වයන් තුළ සිතේ අමාරුකම් ඇතිවීම ස්‌වාභාවිකය. සිතෙන් වැටෙන විට සිරුරෙන්ද පිරිහේ. මන්ද? මනසට වැදෙන පහර ගතටද වැදෙන හෙයිනි. වයස යන්තම් 50 සපුරා 51 ට ලැබුවා පමණි. 1962 අප්‍රේල් මස 05 වන දිනට හිරු උදාවිය. දැඩි සිත් වේදනාවෙන් සිටි එතුමා නිදිපෙති පානය කර සිය ජීවිතය කෙළවර කරගනු ලැබුවාය. ශ්‍රී ලංකාවේ ජාතික ගීතයේ නිර්මාතෘවරයා ද ආනන්ද සමරකෝන් කලාකරුවාය.

(c) Shilpa Sayura Foundation 2006-2017