ඩබ්ලිව්.ජේ.ජි. බිලිං හෙවත් විලියම් ජේමිස් ජෙප්රි බිලිං මෙරට දුල පුතාලගේ චිත්‍ර කලා දැණුම දියුණුවට, දහසකුත් දරුවනට තෙලිතුඩ හුරු කිරීමට, පාසැල් චිත්‍ර කලා අධ්‍යාපනය නැංවීමට ඉත සිතින් දායක වුවෙක් විය. මග පෙන්වන්නෙක් විය. දිවයිනේ ප්‍රධාන චිත්‍ර කලා පරීක්‌ෂකයා විය. බටහිර චිත්‍ර කලා ප්‍රවණතාවයක් පිළිබද තමා සතු දැනුම් සම්භාරය පුළුල් පරාසයක පැතිර වු චිත්‍ර ශිල්පියෙක් විය.
දේශිය කලාවට නව පණක් දීම වස් පිහිටුවා ගනු ලැබු 43 කණ්‌ඩායමේ ආරම්භක සාමාජිකයෙක් විය. එතුමා මෙරට අර්ධ නාගරික ජන ජීවිතයේ කටුකත්වය, කාර්ය බහුලත්වය, පරිසරයේ තිබෙන රළු ස්‌වභාවය, මිනිසුන්ගේ ජීවිතයේ තිබෙන ඒකාකාරී බව අත් දැකීමෙන් වටහා ගත්තේක් විය. එය සිතුවමට නැගු සිත්තරෙක් විය. චාම් දිවිපෙවතක් ගත කල සැහැල්ලු මිනිසෙකු විය.
1887 සැප්තැම්බර් මස 22 වන දින ගම්පොලදී උපත ලද ඩබ්ලියු ජේ. ජි. බිලිං සිත්තරාගේ පියා ප්‍රකට චිත්‍ර ශිල්පියකු වූ ඩබ්ලියු. ඩබ්ලියු. බිලිංය. පියාගෙන් ලද පන්නරය පුතාගේ උපන් හපන්කම් දියුණු තියුණු කරලීමට ඉවහල් විය. කැන්වසය, පින්සලය, තෙලිතුඩ සායම් බදුන ගෙදර පරිසරය ජෙප්රි බිලිංගේ සහජ ශක්‌තිය කිරිකැටි වියේදීම පිබිදීමට හේතු සාධක විය.
ගෘහ නිර්මාණ ශිල්පය හා චිත්‍ර ශිල්පය හැදෑරීම සදහා 1926 දී ජේප්රි බිලිං බොමිබායේ ශ්‍රීමත් ජේ.ජේ. කලායතනයට ඇතුළත් විය. ශිල්ප නැණ මැනැවින් හැදෑරු එතෙම 1928 දී පෙරළා සිය රටට පැමිණියේය. පැමිණි විගස හැව්ලොක් පෙදෙසේ පෞද්ගලික චිත්‍ර පාසලක් ඇරඔවේය. ස්‌වොත්සාහය, නොපසුබට උත්සහය එතුමාගේ සාර්ථකත්වයට බෙහෙවින් හේතු කාරක විය. බිලිං දක්‌ෂ චිත්‍ර ශිල්පියෙකු බවට පත් කළේය. ඒ සඳහා ලයනල් වෙන්ටඩ් මහතාගේ මග පෙන්වීමද ප්‍රබල දායකත්වයක් සපයනු ලැබීය.
43 කණ්‌ඩායම පිහිටුවීමට ඉත සිතින් දායක වු මෙතුමා එහි ආරම්භක සාමාජකයෙකු විය. එතුළින් මෙරට කලා කටයුතු නැංවීමට ගනු ලැබූ කාර්ය භාරයේදී පුළුල් වැඩකොටසක් ඉටු කළ අයෙක් විය. සි.එන්. වින්සර් මහතා ප්‍රධාන චිත්‍ර කලා පරීක්‌ෂක ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු 1945 දී ප්‍රධාන චිත්‍රකලා පරීක්‌ෂක ධුරයට පත්විය.
පිකාසෝගේ හා ජෝර්ජ් බ්‍රාග්ගේ ඝණ මානවාදී චිත්‍ර ශෛලිය හැදෑරු අප සිත්තරා ඝණ මානවවාදී චිත්‍ර ශෛලිය තුළින් චිත්‍ර ඇදීම අරඹා ජනාදරයට පත්විය. 1930 දී අදින ලද මුල් කාලීන චිත්‍ර වලින් පෙනෙනුයේ ජෝර්ජ් කිට් ගේ සිතුවම් වල දැකිය හැකි ලක්‌ෂණයන්ය.
1930-32 දක්‌වා ජෝර්ජ් කීට් සමග එක් වී චිත්‍ර ප්‍රදර්ශන කීපයක් අප සිත්තරා පැවැත්වනු ලැබීය. ඉහත කී ශිල්පීය ලක්‌ෂණ හා චිත්‍ර ශිල්පීන්ගේ නිරන්තර ඇසුර ජෙප්රි බිලිං ගේ චිත්‍ර කලා ජීවිතය සාර්ථක වීමට බලපානු ලැබීය. සී.එන්. වින්සර් මහතාගේ බලපෑම ද අප බිලිං ගේ චිත්‍ර කලා ජීවිතය සාර්ථක වීමට බෙහෙවින් බලපාන ලද සාධකයක් විය.
බිලිං සිත්තරාගේ සිතුවම් සදහා වැඩි වශයෙන් වස්‌තු වුයේ අර්ධ නාගරික ජන ජීවිතයේ ඇති කටුක බවය. කාර්ය බහුලත්වය හා පරිසරයේ තිබෙන රළු ස්‌වභාවයය. මිනිසුන්ගේ තිබෙන ඒකාකාරී බවය. මස් මරන්නාගේ බිරිද, අයිස් වෙළෙන්දා වැනි සිත්තම් මීට නිදසුන් කොට දැක්‌විය හැකිය.
මිනිස් රූප ඇඳීමට වඩා භූමි දර්ශන ඇඳීමට බිලිං ප්‍රිය කළේය. පොල්ශේෂාන් චිත්‍ර ශිල්පියාගේ භූමි දර්ශන වල දැකිය හැකි ලක්‌ෂණ මෙම සිතුවම් තුලින් සිහි ගැන්වෙන බව විද්වත් මතයයි. බිලිංගේ මිනිස් රුප ජෝර්ජ් කීට් ගේ මිනිස් රූප වලට වඩා ස්‌වාභාවිකත්වයට සමීප බව සී.එන්. වින්සර් මහතා පවසයි. අප්‍රානික ද්‍රව්‍ය බලා ඇඳීමට ද බිලිං වැඩි ඇල්මක් දැක්‌වීය. පළතුරු බදුන, නිල් පැහැති ජෝග්ගුව යන සිතුවම් එසේ අඳින ලද සිතුවම් අතර සුවිශේෂ වේ. මෙම සිතුවම් පැබ්ලෝ පිකාසෝගේ හා ජෝර්ජ් බ්‍රාක්‌ගේ කලා කෘතින් සිහිගන්වයි. මාර්ගය අභියස අන්දර වැට චිත්‍රය ඝණ රූපී ශෛලියෙන් නිමවන ලද්දකි. කොළ පැහැයෙන් ප්‍රභේද බෙහෙවින් යෙදීම මෙතුමාගේ සිත්තම් වල දැකැය හැකි තවත් ලක්‌ෂණයකි.
ලයනල් වෙන්මඩ් ශාලාව කලාගාරයක් ලෙස සංවර්ධනය කිර්ම, සෙංකඩගල ගුවන් විදුලි සේවය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සැලසුම් කිරීම, යාපනය, ගාල්ල යන ප්‍රදේශ කීපයක පාසැල් කීපයක් සැලසුන් කිරීම ආදිය මෙතුමා විසින් කරන ලද තවත් අගනා කලා මෙහෙවරයන් අතර වේ.
1945 දී ප්‍රධාන චිත්‍ර කලා පරීක්‌ෂක ධුරයට අප සිත්තරා පත් වීමත් සමග පාසැල් අධ්‍යාපනය තුළ චිත්‍ර කලා විෂය සංවර්ධනය කරවීමට පටන් ගත්තේය. පාසැල් දරු දැරියන් තුළින් නිදහස් ප්‍රකාශන බිහිකරවීමට පෙළඹවීම මෙතුමාගේන් චිත්‍ර කලාවට වූ සුවිශේෂ මෙහෙවරකි. එමෙන්ම එතුමා චිත්‍ර කලාව පිළිබද දක්‌වන ලද අදහස් කලාව සම්බන්ධයෙන් දරන ලද ආකල්ප කෙතරම් සාධාරණ ද යන්න චිත්‍ර කලා පරීක්‌ෂක තනතුරෙහි සිටියදී ගත් ක්‍රියා මාර්ග තුළින්ම පැහැදිලි වේ.
අපි මොහොතකට එතුමාට සවන් දෙමු. "...මනුෂ්‍ය ක්‍රියාකාරිත්වයේ නිර්මාණ ශක්‌තිය කලාවය. අන්ධාණුකරනයෙන් ඇදීම කලාව නොවේ. සොබා දහමට මෙන් හෝ අනුන්ගේ කෘති හැදෑරීම වරදක් නොවේ. එහෙත් ඒවා බලාන එලෙසින්ම ඇදීම නොකල යුතුය. ඒවායේ ඇති යහපත් දේ උකහා ගැනීමේ වරදක් නැත.."
ඩබ්ලිව්. ජේ. ජි. බිලිං සිය සමය ගත කළේ ආගමික භක්‌තිය හා ශ්‍රද්ධාව මුල්කරගත් ක්‍රියාකාරකම් වලින් යුත්තවය. ලොව පවතින සියල්ල අනිත්‍ය බව වටහාගත් මෙතුමා සියල්ල මිනිස් සංහතියේ යහපත උදෙසා යොදවා ගත යුතු බව තරයේ පිළිගත්තේය. ඉතා චාම් දිවි පෙවෙතක් ගත කළ මෙතුමා ක්‍රියාවෙන්ම එය පෙන්නුම් කරණු ලැබු අතර උපශාන්ත වු ධර්ම දේශනයන් කෙනෙකු ලෙස දිවි ගෙවන්නට විය. පුළුල් සමායාන්තර දැනුමකින් යුතු අප සිත්තරා 1992 මාර්තු මස 9 දින ස්‌වර්ගස්‌ථ විය.