ඩේවිඩ් පෙන්ටර්
 

මහනුවර ත්‍රිත්ව දෙවිමැදුරට ඇතුලත් වන ඔබට එහි කඵගල් බිත්තියේ තෙල් සායමින් ඇඳ තිබෙන දේශීය මානව දේහ ලක්‌ෂණයන්ගෙන් යුතුව, දේශීය පස්‌බිමක ක්‍රිස්‌තු චරිතය සිත්තමට නඟන ලද විශාල ප්‍රමාණයේ බිතු සිතුවම් හතරක්‌ දැකිය හැකිය. එහි අල්තාරය අසල කල්වරි කන්දේ කුරුසියට තබා ඇණ ගසන ලද ක්‍රිස්‌තුස්‌ වහන්සේද ඒ දෙපස එසේම දක්‌වා ඇති දෙදෙනෙකුගේ රූප ද සිත්තමට නගා ඇත. පසුබිම කඩොලානයන්ගෙන් යුතු කඩොලානයන්ගෙන් වට වු දේශිය භූමි දර්ශනයකි. එහි එන මිනිස්‌ රූප රඹපාට මුසු වු වර්ණයන්ගෙන් පසුබිම නිල් පැහැයෙන් ප්‍රභේද වර්ණයන්ගෙන්ද වර්ණ ගන්වා ඇත. සිත්තම අඩි විස්‌ස දහය ප්‍රමාණයෙන් යුත්තය.


දෙපස අඩි දහය අට ප්‍රමාණයේ සිත්තම් දෙකකි. වම් පැත්තේ සිත්තමේ යහපත් සැමරිටානුවාද, දකුණු පස සිත්තමේ ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගෝලයකුගේ පාදෝවනය කිරීමද දක්‌වා ඇත. සිත්තම් දෙකෙහිම පසුබිම දේශීය ය.

කන්‍යාමරිය මව් තුමිය ක්‍රිස්‌තුස්‌ වහන්සේ ළග දණ නමා සිටින ආකාරය නිරූපණය කරන සිත්තම අල්තාරයට දකුණු පසින් ඇති ඇතුලු ගැබෙහි ඇත. එහි ප්‍රමාණය අඩි දොළහ දහය කි. විවිධ ඉරියවු වලින් යුතු තරුණ මහලු පිරිස්‌ මෙහි වෙති. පසුබිම දේශියය. දික්‌ අතට ඇඳ ඇති මෙම සිත්තම අප සිත්තරාගේ හැකියාව සිත්තමෙහි ඇති හුරු බුහුටි බව මොනවට කියා පායි.


මෙම සිත්තමෙහි පසු බිමින්, ඇඳුම් පැළඳුම් වලින් ක්‍රිස්‌තු චරිතයේ එන සිද්ධන්ට දේශිය මුහුණුවරක්‌ දීමට සිත්තරා ගත් ප්‍රයත්නය සුවිශේෂය. සාර්ථකය. අතිශයින් සාර්ථකය. මන්ද? ක්‍රිස්‌තු චරිතයේ එන මේ සිද්ධින් මේ කොදෙව්ව තුළම සිදුවුවක්‌ බව සිතට පමණක්‌ නොව ගතටද දැනෙන හෙයිනි. මේ නම් නිර්මාණාත්මක බවේ දැකිය හැකි ස්‌වීයත්වයයි. දීර්ඝ අභ්‍යාසය නිසා ලද ප්‍රවීනත්වයයි. එම සිත්තම් සිත්තමට නගන ලද්දේ 1937-1957 අතර වු කාලය තුළය.


මේ අයුරින් දෙව් මැදුරේ සිත්තම් සිත්තමට නගන ලද්දේ අන් කවර සිත්තරාණන් කෙනෙකුනම් නොවේ. ඩේවිඩි පෙන්ටර් සිත්තරාය.



එතුමා හුදෙක්‌ සිත්තරෙකු පමණක්‌ නොවේ. දහසකුත් එකක්‌ ළමා සිත්තරුනට පින්සලය හුරුකළ සිත්තර ගුරුවරයෙකි. ලංකා කලා සංගමයේ පෙර ගමන් කරුවෙකි. පුරෝගාමියෙකි. ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකික සිත්තරෙකි. චිත්‍ර ශිල්පියෙකි. එපමණක්‌ද නැත. ළයෙහි තෙත් බවෙන් යුතු මානව හිතවාදියෙකි.


1900 මාර්තු මස ඉන්දියාව හිමාලය කඳු පාමුල පිහිටි ඇල්ලෝරාවෙදී අප සිත්තරාණන් උපත ලැබීය. ගැලවීමේ හමුදාවේ යුරෝපීය ජාතිකයා ලෙස සැලකෙන්නේ මෙතුමාගේ පියාණන්ය. මෙතුමා මුලික අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනි. අනතුරුව බ්‍රිතාන්‍යය රාජනීය විද්‍යාතනයේ සිප් සතර හදාළේය. බ්‍රිතාන්‍ය රාජකීය කලායතනයට ඇතුලත් වනවාට අප සිත්තරාගේ වයස අවුරුදු 19 කි.

බ්‍රිතාන්‍ය රාජකීය කලායතනයේ සිව් වසරක අධ්‍යාපනය ලද ඩේවිඩ් පෙන්ටර් සිත්තරාගේ වයස අවුරුදු 20 දී මුල්ම සාර්ථක කෘතිය වු 'ද ස්‌ටික්‌ස්‌' ඉදිරිපත් කළේය. ත්‍රිත්ව විද්‍යාලයෙන්ම ගුරු සේවය ඇරඹු හෙතෙම රාජනීය විද්‍යාතනයේ හා එංගලන්ත කලා සමාජයේ ප්‍රදර්ශන වලට නිතිපතා සිත්තම් ඉදිරිපත් කළේය. සිය නිර්මාණ සඳහා හෙතෙම රන් පදක්‌කම් හා විසිවස්‌ ස්‌කොට්‌ සංචාරක ශිෂ්‍යත්වයක්‌ ද හිමි කර ගත්තේය.


චිත්‍ර ශිල්පය සඳහා වැඩිදුර අධ්‍යාපනයක්‌ ඉතාලියෙන්ද ලබා ගත් ඩේවිඩ් පෙන්ටර් සිත්තරා එඩින්බරෝ, ලිවර්පුල්, මැන්චෙස්‌ටර්, බ්‍රයිටන්, නිව්යෝක්‌ වැනි ලෝක ප්‍රකට චිත්‍රාගාරවල චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වීය. මීට කාල් කැස්‌මන් හා ජේ.ඩි.ඒ. පෙරේරා යන ශිල්පීන්ගෙන් සහය ද ලබා ගනු ලැබීය. 1946 වර්ෂයේ නවදිල්ලියේ පවත්වන ලද ජාත්‍යන්තර චිත්‍ර ප්‍රදර්ශනයේ පෙරදිග රටකින් චිත්‍ර ප්‍රදර්ශනය කළ ශිල්පියෙකු වශයෙන් අග්‍ර ගන්‍ය ශිල්පියාට හිමි සම්මානය හිමි කර ගත්තේය.


තමාට ආවේණික ශෛලියක්‌ අනුගමනය කල මෙම සිත්තරා තෙල් සායම් මාධ්‍යයේ ප්‍රවීණයකි. මානව දේහය තාත්විකව ඇඳ දීම, අඳුරු වර්ණ වලින් මිදී දීප්තිමත් වර්ණ භාවිතය, වර්ණ ප්‍රභේද බහුලව යෙදීම, දම් හා රෝස පැහැයට විශේෂ තැනක්‌ දීම, කුඩා පින්සල් පාරවල් යෙදීම, ක්‍රිස්‌තු චරිතයට අදාල සිද්ධි වලදි පවා ලාංකිකයන් සතු ශරීර ලක්‌ෂණ භාවිතා කිරීම, දේශිය පස්‌බිම යොදා ගැනීම මෙතුමාගේ චිත්‍රවල දැකිය හැකි සුවිශේෂි ලක්‌ෂණ වේ. උඩුකය පිළිරූ සම්පිණ්‌ඩින මෙම සිත්තරාගේ නිර්මාණ අතර වේ. එඵවන් හා පතොක්‌, පේරුසලමට ගිය ගමන අප කලාකරුවාගේ ප්‍රකට චිත්‍ර නිර්මාණයන් වේ. මෙම කීර්තිමත් සිත්තරා කලක්‌ රජයේ කලා හා ශිල්ප විද්‍යාලයේ චිත්‍ර ශිල්පියෙකු සිත්තර ගුරුවරයෙකු ලෙසද කටයුතු කළේය.


අප සිත්තරා දැඩි මානව හිතවාදිත්වයෙන් යුත් අයෙකු ලෙසද ප්‍රකටය. ප්‍රසිද්ධය. නුවරඑළිය ප්‍රදේශයෙන් සොයා ගත් අනාථ දරුවන් රැසක්‌ හදා වඩා ගත් මෙතුමා ඔවුන් තරුණ වියට පත් වු පසු ඉන්දියාවට යවා ගොවිතැන් කටයුතු පිළිබඳ පුහුණුවක්‌ ද ලබා දුන්නේය. ජීවිතයේ සැදෑ සමයේ ත්‍රීකුණාමලයේ ගොවිපළක්‌ ඇරඹු මෙම සිත්තරා එහි කාලය ගත කළේය.


කිතු සමිදුගේ ස්‌වර්ග රාජ්‍යය වෙත ගිය මෙම සිත්තරාගේ දේහය 1975 ජූනි මස 9 වන දින නුවරඑළියේ යුනියන් දේවස්‌ථාන සුසාන භූමියේදී මිහිදන් කෙරුණි. එහෙත් එතුමා චිත්‍ර කලාවට කරන ලද සේවාව පිළිබඳව කෘතවේදිත්වයෙන් යුතුව මෙරට ජනතාව යුග යුග ගණන් කතා කරණු ඇත.    

(c) Shilpa Sayura Foundation 2006-2017