අයිවන් පීරිස්‌
 



අයිවන් පීරිස්‌ගේ භුමි දර්ශන බොහෝ චිත්‍ර ශිල්පින් අනුගමනය කළ යථාර්ථවාදී භුමි දර්ශනයට වඩා වෙනස්‌ය. හෙතෙම සිය චිත්‍රවල බාහිර හැඩතල ඒ ආකාරයෙන්ම සිත්තම් නොකරයි. අයිවන් පිරීස්‌ සිත්තරා සිය සිත්තමට දැඩි නිහඩතාවයක්‌ කවනු ලබයි. භුමි දර්ශනය තුල නිසොල්මන්ව බලා හිදින පරිසරයන් වේ. මෙම තත්වයන්ට බොහෝ කරුණු බලපාන බව චිත්‍ර කලා විචාරකයින්ගේ මතයයි. චිත්‍රය අදිනු ලබන පුද්ගලයන්ගේ මනෝ භාවයන් ඉන් ප්‍රධාන තැනක ලා සැලකේ. කිසියම් අවස්‌ථාවක්‌ හෝ ස්‌ථානයක්‌ සිත්තමට නඟන අයිවන් පිරීස්‌ සිත්තරා සිය සිත්තම් වලින් පිළිබිඹු කරනුයේ තමාගේ ඇතුළාන්තයේ ප්‍රතික්‍රියාවය.


හැම වස්‌තුවක්‌ම හා මිනිස්‌ රූපයක්‌ම හැඩය අතිශය සරළ කිරීම එතුමාගේ චිත්‍ර තුළ දැකිය හැකිය. එම චිත්‍ර වල දැකිය හැකි තවත් විශේෂත්වයක්‌ නම් වර්ණ වල ඇත්තේ සීමිත භාවයයි. හෙතෙම වෙනස්‌ වෙනස්‌ වර්ණ යෙදුවත් ප්‍රදර්ශනය වන්නේ එකම වර්ණයේ ප්‍රභේද ලෙසිනි. යම් වස්‌තුවක හෝ ද්‍රව්‍යයක පවතින මූලික අදහස මූලික චරිත ලක්‌ෂණ විනාශ නොවන අයුරින් සිදු කිරීමට ප්‍රයත්න දරා ඇත. ඒ චිත්‍ර කලාව ගැඹුරටම හැදෑරීමෙ ප්‍රතිඵලයකි.


චිත්‍ර තුළ ආකෘතිය මගින් සිතුමවම් සදහා දැවැන්ත ස්‌වරූපයක්‌ පෙන්වීම මෙම ශිල්පියා සතු කුසලතාවය කියාපාන තවත් සාධකයකි. මානව රූප උසින් යෙදීමත් සම්ප්‍රදායික කලා න්‍යායන්ගෙන් බැහැරව තමා සතු හැගීම් ඉස්‌මතු කරදීම මෙම සිතුවම් වල දැකිය හැකි තවත් ලක්‌ෂණයකි.



මේ දෙස්‌ විදෙස්‌ විචාරකයන් අයිවන් පීරිස්‌ සිත්තරාණන්ගේ සිත්තම් දුටු හැටිය.

"අභාෂයෙන් ඵලදායි ලෙස උකහාගත් අයිවන් පීරිස්‌ තමාටම ආවේනික වු ප්‍රාණවත් පුද්ගල ශෛලියක්‌ ගොඩනගාගෙන ඇත"
(මැන්චෙස්‌ටර් ගාඩියන්)

"විවිධය, සියුම්ය, චාම්ය, ප්‍රාණවත්ය - විශිෂ්ඨ ශිල්පමය දක්‌ෂතාවයකට සාක්‌ෂි දරයි"
(ලේන්ත්‍ර ප්‍රන්සේග්)


"අයිවන් පීරිස්‌ යථාර්ථය හෙළි කරන තරමට කලාව නිදහස්‌ බව සිහි කරන චිත්‍ර ශිල්පීන්ගෙන් කෙනෙකි"
(නිව් ස්‌ටේස්‌මන් ඇන් නේෂන්)


"සම්භාව්‍ය ලෙස සකස්‌ වු සන්සුන් අවස්‌ථාවන්හිදී ධ්‍යානයකට යොමු කරන අයිවන් පීරිස්‌ගේ චිත්‍ර රසිකයා වෙත විවිධ ක්‌ර්කශ හඩින් කෑගසන නූතන චිත්‍ර ශිල්පින්ට හාත්පසින්ම විරුද්ධය"
(ආර්ට්‌ රිවිට්‌)


"වර්ණ වින්දනය යන්නේ ගීත වැනි ඔහුගේ චිත්‍ර අනුරාගී බවක්‌ දක්‌නට ඇතත් එම අනුරාගී බව බුද්ධිය විසින් දමනහ කර ඇත"
( සේනක බණ්‌ඩාරනායක.)


"අයිවන් පීරිස්‌ගේ චිත්‍ර පෙරදිග හා අපර දිග චිත්‍ර කලාවන්ගේ හරයෙහි සංකලනයකි"
(ඇල්බට්‌ ධර්මසිරි.)



1921 ජූලි මස 31 වැනි දින දෙහිවල උපත ලැබූ අයිවන් පීරිස්‌ ප්‍රතිභාපූර්ණ චිත්‍රපට අධ්‍යක්‌ෂක ආචාර්ය ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ මහතාගේ වැඩිමහල් සහෝදරයාය. අයිවන් පීරිස්‌ සිත්තරා චිත්‍ර කර්මය පිළිබඳ මූලික අධ්‍යාපනය ලැබුවේ චිත්‍ර ශිල්පී හැරී පීරිස්‌ මහතා යටතේය. ශ්‍රී ලංකාවේ චිත්‍ර ශිල්පයට අද්වතීය අනුග්‍රහයක්‌ දක්‌වා ඇති හැරී පීරිස්‌ මහතා ළදරු අවධියේම අයිවන්ගේ කලා කුශලතා දැන හඳුනාගෙන තමාට ආවේණික කලා ආරක්‌ ගොඩනගා ගන්නා තෙක්‌ම ඔහුට ආධාර උපකාර කරණු ලැබ ඇත.

අයිවන් පීරිස්‌ සිත්තරා දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු බිහි වු ප්‍රබලතම කලා බලවේගය වු 43 කණ්‌ඩායමේ ආරම්භක සාමාජිකයෙකි. මුලිකව කටයුතු කළ සිත්තරෙකි. හෙතෙම 1946 දී චිත්‍රකලා අධ්‍යනය සදහා ලන්ඩනය බලා ගියේය. වර්ෂ තුනක්‌ පමණ කාලයක්‌ එංගලන්තයේ අධ්‍යයනය කටයුතු වල සිට ආපසු ලංකාවට පැමිණියේය. යළි 1952 දී ආපසු එංගලන්තය බලා පිටත් විය. 43 කණ්‌ඩායම හා එක්‌ව එංගලන්තයේ හා යුරෝපයේ චිත්‍ර ප්‍රදර්ශන රැසක්‌ පවත්වා ඇත.


මුලු ජීවිත කාලයම චිත්‍ර කලාවට කැප කළ මේ සිත්තරා එහි සත්‍යයක්‌ අවබෝධ කර ගැනීම තුළින් සිය චිත්‍ර කලා ශෛලිය හදා වඩා ගත්තේය. ඒ සදහා දැඩි වෙහෙසක්‌ මෙන්ම කාලයද කැප කළේය. අයිවන් පීරිස්‌ සිත්තරාගේ නග්න රූප රිද්මයානුකුලය. එය නුවර යුගයේ චිත්‍ර ශිල්ප ධර්මතා උපයෝගී කර ගැනීමේ ප්‍රතිඵලයකි.


අයිවන් පීරිස්‌ සිත්තරාගේ චිත්‍ර අතර වැඩි වශයෙන් දක්‌නට ඇත්තේ මුහුදු වෙරළ තේමා කරගත් භුමි දර්ශනයයි. මුහුදු වෙරළ ආලෝකය. මුහුදු වෙරළ රන්ගය, මාලු ඔරු, මුහුදු ගොස්‌ පෙරළා පැමිණීම මීට නිදසුනක්‌ කොට දැක්‌විය හැකි සිත්තම් අතර වෙසෙසින් සදහන් කළයුතු නිර්මාණවේ.


අය්වන් පිරීස්‌ කලාකරුවා විදේශ ගත චිත්‍ර ශිල්පීය කටයුතු වල යෙදුනද සිය චිත්‍ර වලට වාස්‌තු කරගත්තේ ලංකාවේ භුමි දර්ශනය. ලංකාවේ ජන ජීවිතය. ලාංකීය අද්දැකීම්ය. මෙතුමාගේ චිත්‍ර අතර සම්ප්‍රාප්තිය, සඳ එළිය, මුහුදු ගොස්‌ පෙරළා පැමිණිම, පොල් ගස්‌ වැනි සිත්තම් උස්‌ස නිර්මාණ ලෙස විචාරක ප්‍රසාදයට ලක්‌ව ඇත.


ශ්‍රී ලංකාවට අන්තර් ජාතික කීර්තියක්‌ ලබා දුන් අයිවන් පිරීස්‌ සිත්තරාණන්ගේ සිත්තම් ශ්‍රී ලංකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඇමරිකා එක්‌සත් ජනපදය, ඉතාලිය, ප්‍රංශය, ඉන්දියාව ආදී රටවල් රැසක ජාතික හා පෞද්ගලික චිත්‍රාගාරයන්ට එක්‌ව ඇත. 1988 දී ලන්ඩනයෙහිදී මෙම සිත්තරාගේ අභාවය සිදුවිය. 

(c) Shilpa Sayura Foundation 2006-2017