ජේ.ඩි.ඒ. පෙරේරා
 

හෙතෙම කාර්මික විද්‍යාලයට අනුබද්ධව පවත්වාගෙන ගිය චිත්‍ර, කලා අධ්‍යයනය එයින් නිදහස්‌ කොට ස්‌වාධින අධ්‍යයන ආයතනයක්‌ ලෙස ඉදිරියට ගෙන යෑම වස්‌ රජයේ කලායතන පිහිටුවා මෙරට චිත්‍ර කලා අධ්‍යාපනයේ එක්‌ සන්ධිස්‌ථානයක්‌ සනිටුහන් කළේය. හෙතෙම අභාවයට යමින් තිබූ ටවර්හෝල් නාට්‍යය වලට නැවත නව පණක්‌ දී එය පොදු ජනතාව අතරට ගෙන ගොස්‌ ටවර්හෝල් රඟහල පොදු ජන අයිතියක්‌ බවට පත් කළේය. එම සද්කාර්&යන් කරණු ලැබුවේ මෙරට ජනතාව 'ජේ.ඩි.ඒ.' යන ආදර නාමයෙන් හදුන්වනු ලබන ජේ.ඩි.ඒ. පෙරේරා නම් වු සිත්තරාය. කලා ඇදුරාය. නාට්‍යවේදියාය.


1897 දී ගමිපහ උපන් ජේ.ඩි.ඒ. ට යන්තම් අවුරුදු අට ලැබුවා පමණි. මේ කිරිකැටියා මෙලොව තනිකර පියා මිය ගියේය. එහෙත් මව සියලු වගකීම් කරට ගත්තාය. සිය පුතුට සිප් නැණ පෙවීමට වගබලා ගත්තාය. කොළඹ ආනන්ද විද්‍යාලයට ද ඇතුළත් කළාය. එහෙත්....... පොතට පතට වඩා සිත්තමට සිත යොමු කළ මේ දරුවා ගෙදරදීත් පාසලේදීත් චිත්‍ර අදින්නට විය.


පාසැලේදී මේ දරුවාට තෙලිතුඩ මුරු කරවුයේ බර්ටට්‌ නම් චිත්‍ර ශිල්පියාය. පාසැල් අධ්‍යාපනයෙන් අනතුරුව කාර්මික විද්‍යාලය ඔස්‌සේ සිය අධ්‍යාපන මංපෙත් විවරකර ගත් මෙතුමාට ගුරුහරුකම් ලබා දුන්නේ චාල්ස්‌ ෆිගොච් වින්සර්ය. ජේ.ඩි.ඒ ගේ දක්‌ෂකම් දුටු වින්සර් සිය ගෝලයාද කැටුව එවකට කාර්මික විද්‍යාලයේ විදුහල්පතිවරයා වු කෙනාඩ් වෙත ගියේය. මේ අයුරින් ආයතන අධිපතිවරයාට සිය සිසුවා හඳුන්වාදුන් මේ චිත්‍ර කර්ම ගුරුවරයා යටතේ ජේ.ඩි.ඒ වසර එකොළහක්‌ම චිත්‍ර කලාව හදාරනු ලැබීය. අධ්‍යාපන කටයුතු වලින් අනතුරුව එතුමා කොළඹ කාර්මික විද්‍යාලයේ ආචාර්ය මණ්‌ඩලයට බැඳුණි. වින්සර්, ලයනල් වෙන්ඩට්‌, ජේ.ඩි.ඒ තුන් හවුල එක්‌ව ලංකා කලා කවය පිහිටවුයේය. 1946 දී ශිෂ්‍යත්වයක්‌ ලැබ එංගලන්තයට ගිය ජේ.ඩි.ඒ. එංගලන්තයේ වෙල්සි කලා ඇකඩමියට ඇතුලත් විය. එංගලන්තයේදී චිත්‍ර ප්‍රදර්ශන පවත්වනු ලැබීය. එංගලන්තයේ රෝයල් ඇකඩමියේද සාමාජිකත්වය හිමිකර ගත්තේය. එහිදී ලෝක කලා ශිල්පිණියක්‌ වු ඩැම් එතර් වේකර් මුණ ගැසුනේය.


එංගලන්තයේ සිට ආපසු පැමිණිමෙන් අනතුරුව 1949 දී කාල් කැන්ටන්, ඩේවිඩ් පෙන්ටර් හා ජේ.ඩි.ඒ. එක්‌ව චිත්‍ර ප්‍රදර්ශනයක්‌ පැවැත්වීය. අනතුරුව කාර්මික විද්‍යාලයේ විදුහල්පති තනතුරට පත්විය. එය ලැබුවේ ඒ.ඊ. බට්‌ලර්ට පසුවය.


ජේ.ඒ.ඩි. පෙරේරා මැතිදුන් කාර්මික විද්‍යාලයේ විදුහල්පති තනතුරට පත් වීම හෙළ කලා ඉතිහාසයේ හෙළ කලා අධ්‍යාපනයේ පුඵල් සන්ධිස්‌ථානයක්‌ සනිටුහන් කරණු ලබන්නක්‌ විය. 1953 පමණ වෙන තෙක්‌ මෙරට සියඵම කලා අධ්‍යාපන කටයුතු පවත්වාගෙන ගියේ කාර්මික විද්‍යාලයට අනුබද්ධවය. කලා අධ්‍යාපන කටයුතු එයින් නිදහස්‌ කොට ගත් ජේ.ඩී.ඒ. පෙරේරා පුඵල් අධ්‍යාපන මෙහෙවරක්‌ සදහා ස්‌වාධීන අධ්‍යාපන ආයතනයක්‌ යටතට ගෙනාවේය. රජයේ ලලිත කලායතනය (හේවුඩ්) පිහිටුවීම මෙහි ප්‍රතිඵලයයි. එම ආයතනය මෙම කාර්යයන් නොපිරිහෙළා ඉටුකළ බව එහි ඉතිහාසයෙන් මොනවට පැහැදිලි වේ.

අනතුරුව රජයේ කලා උපදේශකවරයා ලෙස කටයුතු කළ මෙතුමා වැටී යන නාට්‍ය කලාව යලි නැංවීටමද නොමද මෙහෙවරක්‌ ඉටු කළේය. ඒ සඳහා පැරැණි සිංහල නාට්‍යය නැවත වේදිකා ගත කීරීමේ කාර්යයද ආරම්භ කළේය. ඒ අනුව සිරිසගබෝ, වෙස්‌සන්තර, හරිස්‌චන්ද්‍ර, "ශ්‍රී වික්‍රම" යන අභාවයට ගොස්‌ තිබූ ටවර් හෝල් නාට්‍ය එතුමාගේ මුලිකත්වයෙන් යළි නිශ්පාදනය කරනු ලැබීය.


සාමාන්‍යයෙන් පොදු ජනතාවගේත්, ඉංග්‍රීසි භාෂාව උගත් ධනේශ්වර පංතියත් වශයෙන් බෙදී පැවතුණු සමාජයක මොවුන් සියලු දෙනාම එක්‌ කරන තැනක්‌ ලෙසට ටවර්හෝල් රගහල පත් කීරීමට මෙතුමා නොමද මෙහෙවරක්‌ ඉටු කරනු ලැබීය.


චිත්‍ර ශිල්පය, නාට්‍යය සංගීතය, යන කලා මාධ්‍යයන් උපයෝගී කරගෙන සිංහලයන්ගේ අතීත උරුමය සියල්ලන්ටම තේරුම් ගත හැකි පරිදි ඉදිරිපත් කිරීමට මෙතුමා වෑයම් කළේය. 'චිත්‍ර නාටක' නම් නව ආරක සංදර්ශන ක්‍රමයක්‌ හදුන්වා දුන්නේද මෙතුමා විසිනි. 1954 දී ලංකාවට පැමිණි දෙවන එලිසබත් රැජින මෙතුමාගේ මුලිකත්වයෙන් රීගල් රගහලේ පැවැත්වූ කලා සංදර්ශනය නැරඹුවාය. එතුමාගේ කලා හැකියාවන් ඇගයීමට ලක්‌ කළාය.


ජේ.ඩී.ඒ. පෙරේරා මැතිදුන් කලා මණ්‌ඩලයේද ආරම්භක සාමාජිකයෙකි. ජේ.ඩී.ඒ. පෙරේරා සිත්තරාගේ සිතුවම් අතර වොකර් උඩුකය චිත්‍රය, නළගන හා නිල්සාරිය, වෙසෙසින් සදහන් කළ යුතු සිත්තම් වේ. ප්‍රතිරූප හෙවත් ආලේඛ්‍ය චිත්‍ර විශාල ප්‍රමාණයක්‌ද ජේ.ඩී.ඒ. පෙරේරා සිත්තරාගේ නිර්මාණ අතර වේ.


ලංකාවේ සියලුම කලා මාධ්‍යයන්ට උසස්‌ තත්වයක්‌ හිමි කරදීමට සියලුම කලා මාධ්‍යයන්ට නව පණක්‌ දීමට, සිංහලයනට හිමි අතීත උරුමය හිමිකර දීමට ඇප කැප වී දිවි හිමියෙන් කටයුතු කල මෙම කලාකරුවා 1967 සැප්තැම්බර් මස 07 දින මිය ගියේ මෙරට කලා කෙෂ්ත්‍රයට නොමැකෙන සටහන් රැසක්‌ තබමිනි. 
  

(c) Shilpa Sayura Foundation 2006-2017