ජස්‌ටින් දැරණියගල
 

ජස්‌ටින් දැරණියගල සිත්තරා 43 කණ්‌ඩායමේ ඉදිරිපෙළ සාමාජිකයෙකි. 43 කණ්‌ඩායම පැවැත්වු ප්‍රදර්ශන සදහා නිර්මාණශීලී දායකත්වය නිරන්තරයෙන් සැපයු සිත්තරෙකි. බාහිර වර්ණනා රීතියක්‌ අනුගමනය කළ වර්ණ හා රේඛා මගින් ප්‍රබල හැගීම් ජනනය කිරීමට සමත් වූ ආටෝප බහුල ගුඨ හැගීම් දනවන චිත්‍ර සම්ප්‍රදායක්‌ අනුගමනය කළ සිත්තරෙකි.


මිනිසුන්ගේ දුක්‌ඛ දෝමනස්‌සයන්, වේදනා සිය සිත්තමට හසු කරගනු ලබන, ග්‍රහණය කරගනු ලබන අප සිත්තරා ශෘංගාර රස ජනනයට වඩා එම සිත්තම් මගින් මනෝ විද්‍යාත්මක ලක්‌ෂණ එළි දක්‌වනු ලබයි. 43 කණ්‌ඩායමේ සෙසු චිත්‍ර ශිල්පින් තුළින් නොදක්‌නා ලද පරිනත බවක්‌ දැරණියගල සිතුවම්කරුගේ සිත්තම් වල දැකිය හැකි අතර එතුමා බටහිරට බර සම්ප්‍රදායක්‌ අනුගමනය කරයි. මෙහිදී මතිස්‌සේගේ ශෛලිය එතුමා කෙරේ ප්‍රබල ලෙස බලපානු ලැබ ඇත. මිනිසුන්ගේ දුක්‌ වේදනා කලකිරීම් තියුණු ලෙස නිරූපණය කිරීමට එතුමා සමත් වුයේ මතිස්‌සේගේ මෙම රීතියේ බලපෑම මත බව විචාරක මතයයි.

 

 

 

දැරණියගල සිතුවම්කරුගේ සිත්තර රීතිය අතිශයින්ම බාහිර වර්ණන දා රීතියකි. වර්ණ හා රේඛා මගින් ප්‍රබල හැගීම් ජනනය කිරීමට සමත් ආටෝප බහුල චිත්‍ර සම්ප්‍රදායක්‌ එතුමාගේ කෘතින්හි දැකිය හැකිය. එතුමාගේ චිත්‍රවල මිනිස්‌ රූප විකෘති ස්‌වරූපයක්‌ ගනු ලබයි. එය එතුමාට ආවේනික ස්‌භාවයකි. එම රීතිය තුළ එතුමා සිය කලාව කෙරේ දැක්‌වු බරපතල ආකල්පය හා අවංක භාවය නිරූපණය කරන්නක්‌ විය. එතුමා වර්ණ යොදා ඇත්තේ ගුඨත්වය පිළිබඳ හැගීම් දැනවීමට සමත්වන අයුරිනි.


ඔහු බොහෝ චිත්‍ර ඇන්දේය. ඒ සියල්ලෙහි නිරූපණය වුයේ ඔහුගේ කැළඹුණු සිතය. කිසියම් අස්‌ථාවර හා දුක්‌ඛදායක හැගීම් ඔහුගේ චිත්‍රවල බොහෝ විට මතුවිය. දැරණියගල තමාටම ආවේණික වූ වර්ණ මගින් විකෘති මිනිස්‌ රූප ඇන්දේ තමා තුළ වූ කිසියම් අවිඥානක භීතියක්‌ නිසා බව කිව යුතුය. එහි ප්‍රතිඵලය වුයේ හුදු විස්‌තරාත්මක සහ නියෝජනාත්මක චිත්‍ර වෙනුවට භාව පූර්ණ නව චිත්‍ර රීතියක්‌ ඔයු තුළින් බිහි වීමයි.


ජෝර්ජ් කීට්‌ සිත්තරා මෙන් අප සිත්තරා ද සමකාලීන සම්ප්‍රදාය ඉස්‌මතු කරණු සදහා යොදා ගත්තේ මෘදු ලෝහිත වර්ණයන් හා රෝස හා දුඹුරු පැහැයන්ය. මෙම වර්ණ තුළින් ඉතා සියුම් හා මෘදු හැගීම් දැනවීමට හෙතෙම සමත් වේ. අප සිත්තරාණන්ගේ පෞද්ගලික බාහිර ස්‌වරූපය අතින් සලකන විට අපර දිග එකක්‌ විය. ඒ වනාහි සාම්ප්‍රදායික කලා රීතියෙන් බොහෝ සෙයින් බැහැර වුවක්‌ වන අතර බටහිර චිත්‍ර කලාවේ නව නැමියාවන්ගේ සංකලනයන් විය. එතුමා යොදා ගනු ලැබූ කැඩුණු රේඛා හේතු කොටගෙන මිනිස්‌ රූප වල විකෘති ස්‌වභාවයක්‌ ඉස්‌මතු වේ.


"ආදරවන්තයෝ" චිත්‍රයෙන් කම්සැප විදින අයුරු බාහිර වශයෙන් දර්ශනය වුවද එය ගැඹුරින් අධ්‍යනය කිරීමෙන් ගැහැණිය විඳින වේදනාව, ලැජ්ජාව, ආදරය, සෙනෙහස, ත්‍යාගශීලි බව ආදී හැගීම් දනවයි. මෙහි රේඛා හා වර්ණ පදාස වශයෙන් දක්‌වා ඇත. මෘදු බව මෙහි දැක්‌වීම සඳහා කහ, රෝස හා අලු වර්ණ යොදාගෙන ඇත.


"තාපසාරාමය අසල පව්ව" නැමැති චිත්‍රය පොල් අතු සෙවලි කළ ගෙයක්‌ද ගස්‌ තුනක කඳන්ද දක්‌නට ඇත. මෙම චිත්‍රයේ එතුමා එක්‌සත් රාජධානියේ ස්‌ලේඩ්හි ලද පුහුණුව මොනවට කියා පාන්නකි. එහි පරිසරය නිමවනු සඳහා අනුගමනය කළ ශෛලිගත ක්‍රමයෙහි එතුමා චිත්‍ර කලාව පිළිබඳ ශාස්‌ත්‍රීය අධ්‍යයනයක යෙදුණු අයුරු කියාපායි.


"මල් බඳුන හා ගැහැණු දෙදෙනා" නැමැති සිත්තම මතිස්‌ගේ ශෛලිය එතුමා කෙරේ ප්‍රබල ලෙස බලපෑ අයුරු කියාපායි. මෙම ශ්‍රේෂ්ඨ ප්‍රංශ කලා කරුවාගේ ආභාෂය හේතු කොටගෙන දැරණියගල සිත්තරාණන්ගේ චිත්‍ර නව මුහුණුවරක්‌ ගත් බව විචාරක මතයයි.


මාලුවා අතැති දැරිය නම් චිත්‍රයෙන් සිය හැගීම් නිරූපණය කරන්නේ කිසිදු ආයාසයකින් තොරව නිරායාසයෙනි. මුහුණින් දුක්‌මුසු බව දක්‌වා ඇති සැටියෙන් හා වර්ණ යොදා ඇති අයුරින් මෙම සිත්තම් අසාමාන්‍ය හැගීම් මතු කරයි. මෙම සිත්තමට යුනෙස්‌කෝ සම්මානයද හිමි විය.


මනාලිය, එලුවා, කැඩපතක්‌ අතැති දැරිය, යන සිත්තම් එතුමාගේ පෞද්ගලිකත්වය මනාසේ පිළිබිඹු කරයි. ආලෝකය හා වර්ණ සංයෝජනය අතින් සිය චිත්‍ර රීතියේ ස්‌වාධීන බවට මෙම සිත්තම් මාහැගි නිදසුන් වේ. කැඩපතක්‌ අතැති දැරිය සිත්තමේ වර්ණ යොදා ඇති ආකාරය මෙන්ම රේඛා හසුරුවා ඇති ආකාරය චිත්‍රයට සජීවි බවක්‌ ගෙන එනු ලබයි. මෙම සිත්තමේ සංයෝජනය පිකාසෝ සිහි ගන්වනු ලබයි.



1952 දී ලන්ඩන්වලින් 1954 දී පැරිස්‌ නුවරත් පැවැත්වණු 43 කණ්‌ඩායමේ චිත්‍ර ප්‍රදර්ශනයේ වඩාත්ම නිර්මාණාමක ලාංකික චිත්‍ර ශිල්පියා හැටියට විචාරක ප්‍රසාදය දිනාගනු ලැබූ සිත්තරා වුයේ ජස්‌ටින් දැරණියගල සිත්තරාය. වැනිසියේදී 28 වැනි ද්වි වාර්ෂික යුනෙස්‌කෝ සම්මානය දිනා ගන්නා ලද්දේ ද ජස්‌ටින් දැරණියගල සිත්තරාය. එතුමා දෙවරක්‌ම කනාගී ජාත්‍යන්තර ප්‍රදර්ශනයේදී සිය සිත්තර ප්‍රදර්ශන පැවැත්වූයේය. සැන් ප්‍රැන්සිස්‌කෝවේ පවත්වන ලද චිත්‍ර ප්‍රදර්ශනයට එතුමා සහභාගී විය.

1903 ජූලි 20 වන දින කොළඹ දී උපත ලැබූ මෙතුමා වාසල මුඳලිඳු අමරසේකර යටතේ චිත්‍ර කලාව උගත්තේය. 1922 දී කේම්බි්‍රජ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වී නීතිවේදී උපාධිය ලබා ගත්තේය. අනතුරුව විදේශගතව චිත්‍ර කලාව හැදෑරුවේය. එතුමා චිත්‍ර කලාව පිළිබඳ පුහුණුව ලැබුවේ එක්‌සත් රාජධානියේ ස්‌ලේඩ් ස්‌කුල් ඔෆ් ආට්‌ ආයතනයේය. එහිදී එතුමාගේ ගුරුවරුන් වුයේ ටොන්ක්‌ස්‌ හා ස්‌බෙට්‌ය. අනතුරුව එතුමා පැරිස්‌ නුවර ජුලියන් ඇකඩමියේද චිත්‍ර කලාව හදාරණු ලැබුවේය. 1929 දී පෙරලා ශ්‍රී ලංකාවට පැමිණියේය.

 

1967 05·24  මෙම භාවපූර්ණ ප්‍රතිභාපූර්ණ සිත්තරා සඳහටම ජාතියෙන් සමුගනු ලැබීය. එහෙත් ජස්‌ටින් දැරණියගල යන නාමය මෙරට චිත්‍ර කලා ඉතිහාසයේ සදා නොමැකෙන සටහන් සනිටුහන් කරණු ලැබ ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017