ලයනල් වෙන්ටඩ් සිත්තරෙක් නොවේ. එහෙත් කුශලතා ඇති සිත්තරුන් පමණක් නොව විවිධ මාධ්‍ය ඔස්‌සේ කුශලතා දැක්‌වූ කලා කරුවන් අංකුර අවධියේම දැන හදුනා ගැනීමට තරම් වු අසාමාන්‍ය සංවේදිතාවයකින් යුතු වු අසාමාන්‍ය පුද්ගලයෙකි. මෙරට සිත්තර පරපුරක් බිහිකරලීමට මග හෙළි කළ පුරෝගාමි මාර්ගෝපදේශකයෙකි. මෙරට විවිධ කලා කෙෂ්ත්‍රයනට සම්බන්ධව සිටි නිර්මාණශීලී තරුණයන් පෙළ ගස්‌වා ඔවුනට නිදහසත්, නිවහලත්, දිරියත් වීරියත්, හයියත් ලබා දී ඔවුන් කලා රසිකයන් අතරට ගෙන ආ සුවිශේෂි පුද්ගලයෙකි.
අප රට සංස්‌කෘතියේ බාහිර ආටෝපය විනිවිද ඇතුලාන්තය දුටු මේ කලාකරුවා සංගීතය, ජායාරූප ශිල්පය පමණක් නොව චිත්‍ර කලාව, චිත්‍රපට සාහිත්‍යය වැනි මාධ්‍යයන් පුරා පැතිරුණු දැනුම ඇත්තෙක් විය. එමනිසාම එහි මාර්ගෝපදේශකයෙකු ද විය. කලා විචාරකයෙකු ද විය.
1943 වර්ෂයේ අගෝස්‌තු මස 29 දින, 43 කණ්‌ඩායම පිහිටුවා ගනු ලැබුවේ ලයනල් වෙන්ඩට් මහතාගේ නිවසේදීය. මේ සදහා පැමිණි පිරිස අතර හැරී පීරිස්, අයිවන් පිරීස්, ලෙස්‌ටර් ජේම්ස් පිරීස්, ජෝර්ජ් ක්‌ලැසන්ට්, රිචඩ් ග්‍රේබිරියල්ද විය. මෙහිදී පත් කරගත් කමිටුව ලයනල් වෙන්ටඩ්, අයිවන් පිරීස්, ඔබරි කොලට්, රිචඩ් ග්‍රේබිරියල් ඇතුළත් වුහ. ඩබ්ලිවු. ජේ. ජී. බිලිං, රැප්ල් ක්‌ලැසන්, ජස්‌ටින් දැරණියගල, එස්. ආර්. කනගසන්, ජෝර්ජ් කීට්, මංජු ශ්‍රී හිමියන්ද සාමාජිකයන් අතර විය.
ලයනල් වෙන්ටඩ් ශූරින් සිය දැනුම මත 43 කණ්‌ඩායම ඉදිකර චිත්‍ර කලාවට නව පණක් දුන්නා පමණක් නොවේ. පෙරහැරට පමණක් සීමා වී තිබු උඩරට නැටුම් වේදිකාවට ගෙන ආයේය. එතුමා සංගීත සමිති ද ජායාරූප සංගම් ද පිහිටවුයේය. ලංකාව පසුබිම් කොට නිපදවුණු අනර්ඝතම වාර්තා චිත්‍රපටියක් වන බැසිල් රයිට් ගේ 'ලංකා ගීතය' එතරම් සාර්ථක වුයේ ලයනල් වෙන්ටඩ් කලාකරුවාණන්ගේ මාර්ගෝපදේශකත්වය නිසා යන්න ආචාර්ය ලෙස්‌ටර් ජේම්ස් පීරිස් ශුරින්ගේ මතයයි.
එතුමාගෙන් එළිය ලැබු කලාකරුවෝ පිරිසක් එක්‌ව එතුමාගේ නමින් කලාගාරයක් පටන් ගත්හ. රඟහලක් විවර කළහ. කොළඹ හතේ විල්ප්‍රඩි චන්ද්‍රවංකයේ දක්‌නට ලැබෙන්නේ ලයනල් වෙන්ටඩ් සමරු කලාගාරය හා ලයනල් වෙන්ටඩ් රංග ශිල්ප ශාලිකාව එම කලාගාරයයි. එම රගහලයි.
1910 දෙසැම්බර් මස 03 වන දින උදුවප් සීතලත් සමග කොළඹදී උපත ලද ලයනල් වෙන්ටඩ් බර්ගර් ජාතිකයෙකි. රෙපරමාදු ක්‍රිස්‌තු භක්‌තිකයෙකි. එතුමාගේ පියා කොළඹ සුප්‍රීම් උසාවියේ විනිසුරුවකු හා ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයේ සාමාජිකයෙකු වු 1906 දී ලංකාවේ අධුනික ජායාරූප සංගමය පිහිට වු හෙන්රි ලෝරන්ස් වෙන්ටඩ් ය. මව සුචරිත සමිති ව්‍යාපාරයේ ප්‍රබල සාමාජිකාවක් වූ සමාජ සේවිකාවක් වූවාය.
ලයනල් වෙන්ඩට් ට හරියටම හත් අවුරුද්ද ලැබුවා පමණී. මව මිය ගියාය. පියා සමග ලයනල් මෙලොව තනි විය. මව නැති අඩුව පියා සැපිරුවද වෙන්ඩට් ට යන්තම් අවුරුදු එකොළහ ලබත්ම පියාද මෙලොව හැර ගියේය. මේ කටේ කිරි සුවඳ ද නොගිය ළදරුවා මෙලොව තනිවිය. හුදකලා විය. එහෙත් පියා ගොඩනගා තිබු අර්ථික ශක්‌තිය ලයනල් වෙන්ඩට් ට ඉදිරි කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට සුදුසු පරිසරයක් ගොඩනගා තිබුණි. ලයනල් වෙන්ඩට් අත පොත් තැබුවේ ගල්කිස්‌සේ ශාන්ත තෝමස් විද්‍යාලායනි. පාසැල් වියේදීම විශිෂ්ඨයෙකුගේ ලක්‌ෂණ ලයනල් වෙන්ඩට් තුලින් විද්‍යාමාන විය.
පාසැල් අධ්‍යාපයෙන් අනතුරුව ලයනල් වෙන්ඩට් එංගලන්තයේ ඔක්‌ස්‌පර්ඩ් සරසවියට ඇතුලත් විය. එහිදී නීතිය හදාරා බැරිස්‌ටර් වරයෙකු බවට පත් විය. 1924 දී ලයනල් වෙන්ඩට් පෙරලා ලංකාවට පැමිණියේය. ටික කලක් බැරිස්‌ටර් වරයෙකු ලෙසද කටයුතු කළේය. අනතුරුව පියානෝ හා ප්‍රාසාංගික හා ගුරුවරයෙකු බවට පත් වී සිය කලා ජීවිතය අරඹණු ලැබීය.
වයස අවුරුදු 18 දී පාසැල් අරමුදල සදහා බිතෝවන්, මෝසාට්, ඩැඩෑපින් ආදින්ගේ වාදනය ස්‌වවාදනය ස්‌වකීය ජායාරූපද ඇතුළත් ප්‍රදර්ශනයක් පවත්වනු ලැබීය. ලයනල් වෙන්ටඩ් ගේ කලා කුශලතා පාසැල් වියේදීම මුහුකුරු ගිය බවට මෙය හොදම සාධකයකි.
1930 දී හෙතෙම කුඩා කැමරාවක් මගින් ජායාරූප ගනිමින් ජායාරූප පිළිබදව හුදකලා අත්හදා බැලීම් කරන්නට විය. 1939 දී ජායාරූප සංගමය පිහිටුවනු ලැබීය. 1939 දී අර්නස්‌ට් ලීටස් සහ සමාගමේ අනුග්‍රහයෙන් ඒක පුද්ගල ජායාරූප ප්‍රදර්ශනයක් ලන්ඩන්හිදී පවත්වනු ලැබීය. මෙම සමාගමේ අනුග්‍රහයෙන් ජායාරූප ප්‍රදර්ශන පැවැත්වීම ලොව විශිෂ්ටතම ජායාරූප ශිල්පින්ට වෙන්වුණු වරප්‍රසාදයක් විය. ඒ තත්වය සළකන විට අප ජායාරූප ශිල්පියානන් 38 වන විය වන විට නිශ්චල ජායාරූප ශිල්පියෙකු වශයෙන් විශ්ව කීර්තියක් අත්කරගෙන සිටි බව පැහැදිලි වේ. මින් පසු වරින් වර වෙන්ඩට් ගේ ඒක පුද්ගල ජායාරූප ප්‍රදර්ශන පැවැන්වුණි. කොළඹ පමණක් නොව පිට පළාත් වු ගාල්ල, මාතර, යාපනය, මහනුවර, පානදුර ප්‍රදේශවලද මෙම ප්‍රදර්ශන පැවැත්වුණි.
ලයනල් වෙන්ඩට් කලා ශිල්පියා සංගීතයට ඇදී ගියේ ලන්ඩනයේ නීතිය හදාරන සමයේය. සංගීත විශාරද ඔස්‌කාර් බිංගාර්, පියානෝ විශාරද මාක් හම්බර්ග්, ජෙරල්ඩ් මුවර් මෙම සංගීත ශිල්පියාණන්ගේ ගුරුවරු වුහ. සංගීතය විනෝදය ලෙසද ජායාරූප ශිල්පය වින්දන මාර්ගය ලෙසද බාරිස්‌ටර්කම වෘත්තිය ලෙසද තෝරාගත් ලයනල් වෙන්ටඩ් වැඩිකල් යන්න මත්තෙන් සකල විධ කලා අංශයන්ට අත හිත දෙන මාර්ගෝපදේශකයෙකු විය.
මේ අයුරින් විවිධ කලා මාධ්‍යයන්ට අතහිත දී මාර්ගෝපදේශකත්වය සැපයුවද, තමාගෙන් සිදුවු සේවය ඉතා අල්පය. යන්න මේ කලාකරුවාගේ මාර්ගෝපදේශකයාගේ මතය විය. ඒ නිහතමානිත්වයේ ස්‌වභාවයයි. ලයනල් වෙන්ටඩ් ශුරින් හරියටම වයස අවුරුදු හතලිස් හතරක් ගෙවා හතලිස් පහේ එළිපත්තට පැමිණ ගත වුයේ දින දාසයක් පමණි. උදුවප් ඇවිල්ලා වැඩි දොහක් ගත නොවුණි. 1944 දෙසැම්බර් මස 19 වන දිනට හිරු උදාවිය. එදින මෙම කීර්තිධර කලාකරුවා මරණයට පත්විය.