මහගමසේකර 1929 අප්‍රේල් මස 07 වැනි දින ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ සියනෑ කෝරළයේ රදාවාන නම් සුන්දර ගම්පියසේදී උපත ලැබීය. රදාවානේ මහ වත්තේ විසු මහගමගේ ජෝන් අප්පුහාමි, රණවක ආරච්චිගේ රොසලින් නෝනා නම් සුපින්වත් දරුවාගේ මව්වරු වූහ. හේ පවුලේ එකම දරුවා විය. අත් පොත් තැබුවේ රදවානේ පිරිමි පාසලෙනි. අනතුරුව කිරිඳිවැල පිරිමි පාසලට ඇතුලත් වු මහගම සේකර පසු කලෙක ගුරුවරයෙකු විය. ඉන් පසු රාජ්‍යය භාෂා දෙපාර්තුමේන්තුවේ භාෂා පරිවර්තකයෙකු විය. ගුවන් විදුලි වැඩසටහන් සම්පාදක වරයෙකු විය. අනතුරුව රජයේ ලලිත කලා ආයතනයේ විදුහල්පතිවරයා ලෙසද අධ්‍යාපන අමාත්‍යංශයේ සෞන්දර්ය අංශයේ අධ්‍යාපන නිළධාරියෙකු ලෙසද සේවය කළේය.
මහගමසේකර සම්ප්‍රදාය තේරුම් ගත් චිත්‍ර ශිල්පියෙකි. එහෙත් පෙරළිකාර සිත්තරෙකි. එහෙයින් සේකරගේ චිත්‍ර සම්ප්‍රදායිකයන්ගේ මෙන්ම සම්ප්‍රදාය නොතකන්නන්ගේ ද අවධානයට යොමු විය. සර්ය ජනනනීය වශයෙන් ආරාධනීයය. අධ්‍යාත්මයට කතාකරන සුලුය. රේඛා රූපකාවර්ණ බවට පත් කළේ ප්‍රතිභානයෙන් යුතුවය. මහගමසේකර ගේ චිත්‍ර සේකරයන්ගේ අනෙකුත් සාහිත්‍ය කෘති සමග රිද්මය, මාධුර්ය හා චමත්කාරජනක සංකල්පමය විසින් අත්‍යයන්තයෙන් කුලුපග වෙයි. හෙතෙම සිය අධ්‍යාත්මය ගීතයට බස් වහරට නගමින් ප්‍රකාශ කලා මෙන්ම චිත්‍ර මගින් එය රූපයටද නගයි.
මහගමසේකර චිත්‍ර ශිල්පය කෙරේ ඇදී ගියේ කාර්මික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේය. එහිදී ඔහුට ජමිනි රොයි, පොක්‌ලි, පිකාසෝ වැන්නන්ගේ චිත්‍රවල මුද්‍රිත පිටපත් දැකගත හැකි විය. පසු කාලයේදී චිත්‍ර කලාව අභිබවා වෙනත් ක්‍ෂේත්‍රයන් ඉදිරියට ආවද කුඩාකල සිටම චිත්‍ර කලාව කෙරෙහි පැවැති අභිරුචිය කිසි දිනෙක යටපත් නොවු බව ආරම්භයේ සිට අවසානය දක්‌වා සේකරයන් චිත්‍ර ශිල්පය සම්බන්ධයෙන් කරන ලද අත්හදා බැලීම් වලින් පැහැදිලි වේ.
ඔහුගේ චිත්‍ර වල දැකිය හැකි සුවිශේෂත්වය සිය අදහස සංකේතාත්මකව ජනිත කරවීමය. සෘජු භාවාත්මක ප්‍රකාශනය, පැහැදිලි වර්ණ සංයෝජනය රචනයේ සරලත්වය දළ රේඛා මගින් නිරූපණය වැනි ලක්‌ෂණ දැකිය හැකි ඔහුට ම විශේෂ වු ලක්‌ෂණ වේ. ඇතැම් චිත්‍ර රේඛාවන්, ඇතැම් චිත්‍රයක හැඩතලත්, ඇතැම් චිත්‍රයක වර්ණ සංයෝජනයක් ප්‍රබල වනු දැකිය හැකිය.
මහගමසේකර මුල් කාලීන චිත්‍ර කෙරේ අමිරිටා, ෂාර්ගිල්, ජමිනි රෝයි වැනි ඉන්දීය චිත්‍ර ශිල්පින්ගේ බලපෑම දැකිය හැකිය. බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඇමරිකා එක්‌සත් ජනපදය යන රටවල සංචාරය කරමින් නූතන චිත්‍ර ගැලරි නැරඹීමෙන් ලද ආභාෂය පසු කාලීන චිත්‍ර වලින් දැකිය හැකිය. පිකාසෝ, මොන්සිරියන්, ගොන්සාල් වැනි අයගේ බලපෑම විශේෂයෙන් කැපී පෙනේ. තට්‌ටු නිවසක සිට දුටු රාත්‍රිය, සඳ එලියේ වැලපීම යන චිත්‍ර නිදසුන් කොට දැක්‌විය හැකිය.
මහගමසේකර ඒ අයුරින් යුරෝපීය චිත්‍ර සම්ප්‍රදායේ ආභාෂය ලැබුවද එය උකහා ගනු ලබනුයේ උචිතානුචිත බුද්ධියෙනි. එපමණක් නොව සේකරගේ අන්‍ය කලා කේෂත්‍රයන් වලදී මෙන්ම චිත්‍ර පිළිබඳව ද නිරතුරුවම ශ්‍රී ලංකා ධරණිතලයේ ගැඹුරට ඇදුණු මූලයන් තිබූ බව සේකර චිත්‍ර පිරික්‌සන විට මොනවට පැහැදිලි වේ. ගමේ ජීවන පසේ ඇදී ගිය මුල් ඇති සේකර ගැමි කලා නිර්මාණ සදහා ප්‍රබල ආභාෂයක් ලද්දා සේම චිත්‍ර සඳහාද නොමද ආභාසයක් ලබයි. ප්‍රකෘතික දෙවියා, කාලි ඇතා සිතුවිල්ල නම් චිත්‍ර මීට නිදසුන් කොට දැක්‌විය හැකිය.
පළගැටියා, තරුණයෙකුගේ හොල්මන, හංස රටාව, මාලුවා, දුක්‌බර නැටුමක්, සිගාකෑම, සිහිනයක ආරම්භය, හදාගත් දරුවා, තරුණ භාර්යාව, වෙස් මුහුණ, පාලුව හා හිරු උදාව යනාදිය සේකරගේ සිය ගණනක් නිර්මාණ අතරින් කීපයකි.
ඔහුගේ චිත්‍ර අතරින් ළමා චිත්‍ර ද වෙසෙසින් වැදගත් වේ. මහගමසේකර සරල එහෙත් උසස් ළමා චිත්‍ර කලාවන් හඳුන්වා දෙනු ලැබීය. පුංචි අයට කයි කතන්දර, කොටිවල්ගය, සරුවත් පොළොවක් අපට ඇතේ යන ළමයින් සදහා කරන ලද නිර්මාණයන් මෙයින් එන ළමා චිත්‍රත් ලංකාදීප පුවත් පතේ ළමයින් සඳහා කරන ලද විශේෂාංගයේ එන චිත්‍රත් මීට නිදසුන් කොට දැක්‌විය හැකිය.
සේකර කාටුන් චිත්‍ර ශිල්පියෙක්‌ද වේ. ලංකාදීප පුවත් පතට සපයන ලද "ජරමර" නම් උපහාසාත්මක විශේෂාංගය තුළ මෙම කාටුන් චිත්‍ර දැකිය හැකි විය. මෙම උපහාසාත්මක විශේෂාංගය සැරසුනේ සෝපාහාස කවියකින් හා සේකරගේ චිත්‍රයකිනි. පොත් කවර සදහා ද ඒකාකාර රසසුන් චිත්‍ර වෙනුවට නව පිටකවර කලාවක් සේකරයන් හදුන්වා දෙනු ලැබීය. කේ. ජයතිලක ගේ දෛවයෝග විචාරයට පිටකවරයක් අදිමින් කංචුක නිර්මාණයට අත තැබු මහගමසේකර ඉන් අනතුරුව තමාගේම ග්‍රන්ථ සදහාත් සමකාලීන ලේඛකයන් බොහොමයකගේ පොත් සදහාත් කංචුක නිර්මාණය කළේය.
මහගමසේකර සිත්තරෙක් පමණක් නොවේ. චිත්‍ර විචාරකයෙක්‌ද විය. "සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි රිද්ම ලක්‌ෂණ" නම් සිය ආචාර්ය නිබන්ධන කෘතියේ චිත්‍ර පිළිබදව මෙවන් සටහනක් තබයි. හර්බඩ් රීඩිගේ අදහස ගෙනහැර පාන මහගමසේකර ඒ පිළිබදව මෙසේ විග්‍රහයක යෙදෙයි.
චිත්‍රයක් විභාග කිරීම සදහා ක්‍රම කීපයක් අපට ඇත. යම්කිසි චිත්‍රයක ඇති ඉන්ද්‍රීය ගෝචර මූලාංශ වෙන්කරගෙන ඒවා තනි තනිවද ඒ එක එකක් අනෙකට ඇති සම්බන්ධතාව අනුවද සලකා බැලීමට පුලුවන. මෙවැනි මූලාංග පහක් චිත්‍රයක ඇත්තේය. මෙම මූලාංග බොහෝ විට ඒවායේ ප්‍රමුඛත්වය අනුව ඒවායේ නියම වැදගත් කම නොව සිත්තරාගේ මනසෙහි ඒවා පළවන අනුපිළිවෙළ අනුව රේඛා රිද්මය, හැඩතල රාශි භුත කිරීම, අවකාශය, එළිය හා අදුර, සහ වර්ණ යනුවෙන් නම් කළ හැක. යම්කිසි හැඩතලයක් බාහිර රේඛාවක් මගින් මායිම් කළ යුතු වේ. මේ බාහිර රේඛා ජීවයෙන් තොර නොවීමටනම් ඊටම ආවේනික රිද්මයක්‌ද එහි ගැබ්වී තිබිය යුතුය. හැඩතල රාශිභුත කිරීම, අවකාශය, එළිය හා අදුර යන මේවා සමීප සම්බන්ධයක් ඇති දේ හැටියට සැලකිය යුතුය.
චිත්‍රයක් සිත්තරාගේ සිතෙහි මුලින්ම පිළිසිදෙනුයේ රේඛා රිද්මයක් හැටියට බව හර්බඩ් රීඩ් මෙහිදී පවසයි. එහෙත් ඉන් අනතුරුව ඔහු සදහන් කරන හැඩතල රාශිභුත කිරීම, අවකාශය, එළිය හා අදුර, වර්ණය යන මූලාංග රේඛා සමග තදින් සම්බන්ධවන අයුරු මෙසේ පෙන්වා දිය හැක. යම්කිසි අවකාශයක් (චිත්‍ර කලාවෙ'දී කඩදාසිය හෝ කැන්වසය) මත හැඩතල කීපයක් රාශිභුත කළ විට ඒවායින් නොවැසී ඉතිරිවන අවකාශය ද හැඩතලයක් බවට පත්වෙයි. එබැවින් හැඩතල හා අවකාශය යනු එකක්‌ම ය.
සුදු කළු චිත්‍රයක නම් දෙවර්ණයෙන්ද වර්ණ චිත්‍රයක නම් එකට වර්ණ ප්‍රභේද වලින් හෝ විවිධ වර්ණ රේඛා වලින්ද එළිය අදුර දක්‌වනු ලැබේ. එබැවින් එළිය-අදුර හා වර්ණය යනුද එකක් සේම සැළකිය හැක. චිත්‍රයක එක් හැඩතලයක් අනෙකක් වෙන්කොට දැක්‌වෙනුයේ එළිය අදුර නොහොත් වර්ණ පදාස මගිනි. එබැවින් හැඩතල හා වර්ණ පදාස එකක් සේම සැලකිය හැක. රේඛාව යනු හැඩතලයේම බාහිර රේඛාව විනා අනෙකක් නොවෙ. වර්ණවලට හා රේඛාවලට අයත් විශේෂ ශික්‌තීන් ගැන එඩ්මන් අර්වින් නැමැති කලා විචාරකයාගේ අදහස් ගෙනහැර පාමින් මහගම සේකරයන් දක්‌වන්නේ මෙසේය.
මේ නිසා චිත්‍රයක ඇති රේඛාද සංගීතයේ ඇති රිද්ම වැනි අංග විශේෂයකි. වර්ණයේ බලපෑමෙන් තොර රේඛා චිත්‍රයක් දෙස බලනවිට මෙය මනාව පැහැදිලිවේ. සියුම් දර්ශන ඉන්ද්‍රියන් ඇත්තෙකු රේඛාවක් නැරඹීම යනු මුලික වශයෙන් ඒ රේඛාව සමග ගමන් කිරීමය. ඒ රේඛා රිද්යමානු කුල ලෙස සම්පීඩනය වීමෙන් බිහිවු සංකීර්ණ කෘතිය තුළ ජීවත් වීමය. රසිකයා තම පෞරෂය රේඛා තුල ප්‍රක්‌ෂේපනන කර ඒ රේඛා ගලායන රිද්මයට බිඳි ගිය තැන ඔහුගේ සංජනන ගලායාමෙහි ඒ ගමන හා සම්බන්ධ චාලක ප්‍රතික්‍රියාවෙහි බිදුමක් හට ගනී. නිරායාසයෙන් ගලායන තරංගාකාර චතුර රේඛාවක ඔහුගේ අතීතය දුරු කර සංජනනය හා ප්‍රතිකි්‍රයාව සංතෝෂ ජනක කරයි. නව කතාවක් කිරීමේදී ඒ හා සම්බන්ධ චරිත තුල අප ජීවිතයේ වන්නාක් මෙන් චිත්‍රයක් හෝ මුර්තියක් නැරඹීමේදී ද ඒහා සම්බන්ධ රේඛා තුළ අප ජීවත් වෙතැයි කිව හැකිය.
මේ අයුරින් චිත්‍ර කලාවට පුලුල් මෙහෙවරක් කල මහගමසේකර සිය ආචාර්ය උපාධි නිබන්ධනය වු සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ රිද්ම රටා ලියමින් සිටියදී ඇති වු හෘදයාබාධයක් හේතු කොටගෙන 1976 ජනවාරි මස 14 වැනි දින මරණයේ තොටුපොළින් එගොඩ විය. එහෙත් මහගමසේකර මෙරට චිත්‍ර කලාවට කළ මෙහෙය යුග යුග ගණනක් කතා කරනු ඇත.