පසුගිය සියවස් දෙක තුළ දිවයින පුරා ඉදි වු පිළිම ගෙවල් අලංකාර කළ බිතුසිතුවම් පිටපත් කිරීමට, අධ්‍යයනය කිරීමට, ආරක්‌ෂා කිරීමට, ඉදිරිපත් වු එම ඓතිහාසික ලෙන් විහාරවල මුල් සිතුවම් විනාශ වෙද්දී එහි සැබෑ ස්‌වරූපය ආරක්‌ෂා කරදීමට මුලු ජීවිතයම කැප කරමින් විශාල මෙහෙවරක යෙදුණු එක් සුවිශේෂ වු, දේශප්‍රේමි වූ අසාහය කලාකරුවෙක් සිත්තරෙක් වේ. ඒ මංජු ශ්‍රී ස්‌වාමින් වහන්සේය. ලොකු කංකානමගේ තෝමස් පීරිස් මංජූ ශ්‍රී නම් කලාකරුවාය. සිත්තරාය.
1902 ඔක්‌තොම්බර් මස විසි අටවන දින අලුත්ගම දී උපත ලද මෙතුමා කුඩා කල සිටම අග හිගකම් වලින් පිරි දුෂ්කර ජීවිතයක් ගත කළ අයෙකි. එහෙයින් පාසැල් ජීවිතයද අනපේක්‌ෂිත අයුරින් කඩා වැටුණි. වයස අවුරුදු දහයේදී රැකියාවක් සොයා වෙහෙසුණු මෙතුමා වඩු බාස් උන්නැහැ කෙනෙකුගේ ගෝලයෙකු ලෙස කටයුතු කළේය. දහසක් කම්කටොලු මැද මෙසේ කාලය ගෙවී යද්දී පිඩු සිගා වඩින හිමි නමක් මෙතුමාගේ ඇසුරට වැටුණි. එහි ප්‍රතිපලය වුයේ මෙතුමාට මහණ වීමට සිතක් ඇති වීමයි. බේරුවල මංගල පිරිවෙනෙහි තෙල් වත්තේ ආරියවංශ, තෙල් වත්තේ අමරවංශ යන හිමිවරුන්ගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි දිවියට ඇතුළත් විය. එවිට එතුමාගේ වයස අවුරුදු 13 ක් විය. සිංහල, පාලි, සංස්‌කෘත භාෂා හා බෞද්ධ දර්ශනය මැනවින් හැදෑරූ මෙතුමා විසි වයස් වෙත්ම ඒ පිළිබඳව හසල බුද්ධිමතෙක් විය. ශාස්‌ත්‍රීය කෙරේද නැඹුරු විය.
1932 දී වැඩිපුර අධ්‍යාපනය සඳහා ශාන්ති නිකේතනයට ඇතුළත් වුයේ ද තම ශාස්‌ත්‍රීය කටයුතු වැඩි දියුණු කර ගන්නා අටියෙනි. එහිදී නන්ද ලාල් නමැත්තෙකු යටතේ චිත්‍ර කලාව හැදෑරීය. ඉංග්‍රීසි, දෙමළ, හින්දි, තෙලිගු, බෙංගාලි, චීන යන භාෂාවන්ද හදාරනු ලැබීය. 1937 දී සකීම් දේශයට ගොස් ලාමාවරුන්ගේ කලා සම්ප්‍රදාය ද, බෞද්ධ චිත්‍ර කලාව ද හදාරනු ලැබීය.
ආපසු ලංකාවට පැමිණි මෙතුමා පැරැණි විහාර බිතු සිතුවම් පිටපත් කිරීමේ භාරදුර ජාතික වගකීම් ඉටු කිරීමට පටන් ගත්තේය. එය වඩාක් වැදගත් වන්නේ ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදැක්‌වුණු අධිරාජ්‍යවාදී යටත් විජිත යුගයේ මේ කාර්යයට අවතීර්ණ වීමය. අනෙක් අතට එක් අතකින් පහනක් අල්ලාගෙන අනෙක් අතින් සිතුවම් පිටපත් කලේ ඒ සඳහා අවම සුදුසුකම්වත් නොමැතිවය. මේ මාහැගි සංස්‌කෘතික ව්‍යාපාරය තම ජීවිතයේ අවසාන භාගයේ රෝගී අවස්‌ථාව දක්‌වාම කරගෙන ගියේය.
කවර හෝ බිතු සිතුවමක් නමුත් එක්‌තරා සමාජ පරිසරයක නිපදවීමක් බව පවසන අප කලාකරුවා එක එක කාලවල සමාජ වලට එක එක හැඩවලින් වෙනස් වු පරිසර තිබුණු බව පවසයි. නුවර යුගයේ සස ජාතක සිතුවමකින් ප්‍රකාශ වන අදහසම පොළොන්නරුවේ සස ජාතකයෙන් ප්‍රකාශ වූවෙත් ඒ සදහා යොදා ගත් ආධාර කරගත් දේවල් වස්‌තු වල උපකරණ වල වෙනසක් පෙනෙන්නේ පරිසර දෙකට ඒවා අයිතිවීම නිසාය. පොළොන්නරු යුගයේ සිත්තරාගේ රචනා ක්‍රමයට වෙනස් ක්‍රමයකින් නුවර අවධියේ සිත්තරාට සස ජාතකය පිළිබිඹු කරන්න සිදු වුයේ පරිසරයේ බලපෑම නිසාය.
අජන්තා බිතු සිතුවම්හි මාර යුද්ධය එකල භාවිතා වු නානාවිධ අවි රූප ගන්වා තිබේ. දෙගල්දොරුවේ මාර යුද්ධයට සමහර මරුවෝ තුවක්‌කු ඔසවාගෙන එති. නුවර යුගයේ තිබුණු භයානක මාරක ආයුධය මෙය වීම නිසා මෙය සිදුවිය. සීගිරියේ ස්‌ත්‍රීහු මොට්‌ටක්‌කිලියෙන් හිස සිට දෙපතුළ දක්‌වා වසති. සීගිරි පොළොන්නරු ස්‌ත්‍රීන් නළලේ පැලැන්දූ පුරාණ තිලකය නුවර යුගයේ බිතු සිතුවම් වල දැකිය නොහැක. නුවර යුගයම පළමු හැම බිතු සිතුවමකම බමුණු ආදින්ට පූන නූලක් නොයොදන ලදී. මීට හේතු වී ඇත්තේ සෑම බිතු සිතුවමකටම සමාජ පරිසරයේ බලපෑමයි.
කවර යුගයක කවර පරිසරයකට අයිති වුවත් සිත්තරාගේ අදහස පහසුවෙන් ප්‍රකාශවන උසස් සෞන්දර්යාත්මක අගයකින් යුක්‌ත යැයි පවසන අප කලාකරුවාණන් කොස්‌ගොඩ ගණෙගොඩැල්ලේ දහම් සොඩ රජු ඇමැත්තන් සමුගන්නා තැනත්, අම්බලංගොඩ සුනන්දාරාමයේ මහමන්ධාතුවේ නැටුම් පාටියත්, මුල්කිරිගල තේලපත්තයේ නැටුම් පාටියත්, දොඩන්දූව ශෛල බිම්බාරාමයේ මහින්දාගමනයේ දෙවන පෑතිස් රජු මිහිදු හිමියන් හමුවෙන තැනැත් අමතක නොකල හැකි චමත්කාර ජනක රස වෑහෙන සිතුවම් වශයෙන් හදුන්වා දී ඇත.
මේ අයුරින් බිතු සිතුවම් සමාජ පරිසරයක නිපදවීමක් බව පවසන අප කලාකරුවාණන් එමගින් සමාජයේ ආර්ථික, දේශපාලඳාන, හා සාමාජික තත්වයන්ද නිරූපණය කරන බව සොයාගෙන ඇත. පැරැණිම පන්සල් වල ඇති සස ජාතකය, දහම්සොඩ ජාතකය වැනි කතා වලින් ආත්ම පරිත්‍යාගය හුවා දැක්‌වෙන අතර 19 වන සියවස මුල්දී සාම ජාතකය යොදා ගන්නේ අහිංසකයනට නිරපරාදේ හිරිහැර කිරීම ඉස්‌මතු කිරීමටය.
1818 හා 1848 ඉංගී්‍රසින් කළ විනාශය නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් පසු වික්‌ටෝරියානු ජුබිලිය දක්‌වා සබරගමුවේ හැර උඩරට ප්‍රදේශයේ පන්සල් ඉදි නොවු බව අප සිත්තරාණන්ගේ මතයයි. ඊළග අවධියේ මිනිසුන්ට සීමිත නිදහසක් ලැබී වෙළඳාම දියුණුව අතමිට මුදල් හදල් සරු වු විට ආගමින් බැහැරව ලෞකික සම්පතට ගිජුවීම නිරූපණය කිරීමට තේලපත්ථ ජාතකය, මනාධන සිටාන ජාතකය වැනි කතා වස්‌තුන් යොදා ගැණිනි. වික්‌ටෝරියානු බලපෑම සමග ඇති වු මෙම වෙනස නිසා බිතු සිතුවම් වලටද පුටු, මේස, ඔර්ලෝසු ලන්තෑරුම් ආදිය එක් විය.
බිතු සිතුවම් පිටපත් කිරීමේදී මහණකම නිසාම මෙතුමාට පන්සලේම නැවතීමට ඉඩකඩ ලැබුණි. අනිත් වාසිය වුයේ උගතෙකු ලෙස ප්‍රකට වීමය. සමහර චිත්‍ර පිටපත් කර ඇත්තේ හොරෙන් ඉනිමං තනා ඒ මත නැගගෙන ය. මෙසේ දහසක් දුක් විඳ දරා වුවද සමහර විට ලබාගත හැකි වුයේ එක සිතුවමක් පමණි. අප කලාකරුවාණන්ගේ කලා කුශලතා අනෙකුත් ජාතික සේවාවන් සියල්ලන්ටම වඩා වැදගත් වන්නේ විනාශ වෙමින් තිබුණු ජාතික වස්‌තු සම්භාරයත් දහසකුත් එකක් අපහසුකම් මධ්‍යයේ ස්‌වශක්‌තිය මත පිහිටා රැක ගැනීමට ඉදිරිපත් වීමයි.
1945 දී පළමුවරට පවත්වන ලද මෙතුමාගේ සිතුවම් දැක්‌මට ශ්‍රී ලංකාවේ විහාර වල පිටපත් කරන ලද සිතුවම් රැසක්‌ද ඇතුලත් විය. ජෝර්ජ් කීට් නම් සිත්තරා සමග එක්‌ව මෙතුමා බොරුල්ලේ ගෝතමී විහාරයේ සිතුවම් කර්මාන්තයටද දායක විය. ගෝතමී විහාරයේ දොර සිතුවම මෙතුමාගේ නිර්මාණයකි.
43 කණ්‌ඩායම පිහිටුවීමේ පුරෝගාමි මෙහෙවරක් ඉටුකළ මෙතුමා එමගින් ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශණයක් පවත්වනු ලැබීය. 1947 සිට 1949 දක්‌වා යුරෝපයේ වසර දෙකක් විසූ මේ සිත්තරා ලන්ඩන් නුවර හා ඔස්‌ත්‍රියාවේ වියානා නුවරද චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වීය.
1950 දී එතුමා උපැවිදි විය. විවාහ ජීවිතයට ඇතුළත් විය. ඒ හේතු කොටගෙන තම සංස්‌කෘතික සේවය ඉදිරියටත් පවත්වාගෙන යා හැකි පරපුරක් බිහිකිරීමට එතුමාට හැකි විය. ඒ සිහිනය සැබෑවක් වී එතුමාගේ පුත් කුෂාන් සහ දියණිය ද පියාගෙන් ඉටු වු කාර්ය භාරය අද තමන් වෙත පවරාගෙන සිටිති. උපැවිදි වුවද, විවාහ වුවද, විහාරාමවල සිතුවම් පිටත් කිරීමේ කාර්යයේ එතුමා දිගටම නිරත විය. කාලයා විසින් විනාශ කරනු ලැබූ බිතුසිතුවම් රැසක් ජාතියට දායාද කිරීමට මෙතුමාට හැකි වුයේ එහෙයිනි. ශ්‍රී ලංකා පුරා විද්‍යා සංගමය විසින් මෙතුමා මෙසේ පිටපත් කළ චිත්‍ර සෑහෙන ප්‍රමාණයක් ඇතුළත් කර "ලංකා බිතු සිතුවම් සටහන්" නමින් 1977 දී ග්‍රන්ථයක් එළි දක්‌වා ඇත.
උපැවිදි වූ පසු එතුමා පුවත් පත් කලා වේදියෙකු වශයෙන් ලංකාදීප පත්‍රයේද සේවය කළේය. ඒ අතර චිත්‍ර කර්මාන්තයේද නියැලුණි. ප්‍රදර්ශණ රැසක් පවත්වනු ලැබීය. 1960 දී කොළඹ ප්‍රංශ මිත්‍ර ශාලාවේදී චිත්‍ර ප්‍රදර්ශණ පැවැත්වීය. අපරදිග භාෂා මෙන්ම පෙරදිග භාෂා පිළිබඳව ද මනා පටුත්වයකින් සිටි මෙතුමා විසින් ලියන ලද සාහිත්‍ය කෘති අතර වංග සාහිත්‍යයේද වේ. ජයවර්ධනපුර නව පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණයේද චිත්‍ර අඳින ලද්දේ මෙතුමා විසිනි.
ජගත් කීර්තියට පත් සිත්තරාණන් 1982 ජූනි මස 16 වැනි දින සදහටම ජාතියෙන් සමු ගත්තේය.