මාපලාගම විමලසාර හිමි
 

පැරණි තානායම්ගොඩ ගාලු පුරවරයට අයත් ගිංගඟ අසබඩ පිහිටි සුන්දර ගම්මානයකි. ඒ ගම වැසි ගනේවත්තගේ සියදෝරිස්‌ හා ලීලාවතී යන දම්පතින් යුවලට 1925 මාර්තු මස 03 වන දින මාපලගම විදුලසාර ස්‌ථවීරපාදයන් වහන්සේ නමින් ප්‍රකටව ලෝක සාසන දෙකට මෙන්ම චිත්‍ර කලාවට මුර්ති කලාවට මහා මෙහෙවරක්‌ කරන පුත් රුවනක්‌ බිහිවිය. දෙමාපියන් තම දරු සිගිත්තාට තැබූ නම විජේදාස විය.


විජේදාසට අත් පොත් තැබුවේ ගමේ පාසලෙනි. අනතුරුව වැඩි දුර අධ්‍යාපනය ලැබීම සඳහා රත්මලානේ පරම ධර්ම චේතිය පිරිවෙනට ඇතුළත් විය. එහෙත් විජේදාස ගිහි ශිෂ්‍යයකු වශයෙන් සිටියේ අවුරුද්දක්‌ පමණි. හේ සසුන්ගත විය. ඒ රත්මලානේ පරම ධර්ම චේතිය මහ පිරිවෙන් විහාරාධිපතිව වැඩ විසු වලානේ සට්‌ඨිස්‌සර මහා ස්‌වාමින්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙසිනි. සසුන් ගත වන විට විජේදාසයන්ගේ වයස අවුරුදු පහළොවකි. මේ පුංචි හාමුදුරුවන්ට ගුරු හිමියන් තැබු නම මාපලාගම විපුලසාරය. අගලවත්තේ ප්‍රතිරාජ පිරිවෙනද මාලිගාකන්දේ විද්යෝදය පිරිවෙනද විපුලසාර හිමියන් අධ්‍යාපනය ලැබු සෙසු භික්‌ෂු අධ්‍යාපන ආයතන වේ. විපුලසාර හිමියන් 1946 දී උපසපන් විය.


බණට දහමට මෙන්ම චිත්‍ර, මුර්ති කලාවටද විපුලසාර හිමියන් ඇලුම් කරන්නට වුයේ කුඩා කල සිටම ය. එහිමියන් පාරම්පරික සිංහල කලා සම්ප්‍රදායන් අධ්‍යයනය කිරීමත් ඒ ඔස්‌සේ ස්‌වයං නිර්මාණ එළි දැක්‌වීමත් කරණු ලැබුවේ කිසිදු ගුරුවරයෙකුගේ මග පෙන්වීමක්‌, ගුරුහරුකමක්‌ නොමැතිවය. විපුලසාර හිමියන්ගේ ස්‌වයං නිර්මාණ තුළ උන් වහන්සේට ආවේනික වු අනන්‍යතාවයක්‌ විය. මේ අනන්‍යතාවය දුටු එක්‌ සුවිශේෂ පුද්ගලයෙකු විය. ඒ මහාචාර්ය ගුණපාල මලලසේකර ශුරින්ය. එතුමා විපුලසාර හිමියන් විධිමත් අධ්‍යාපන මාවතකට යොමු කිරීමට අවශ්‍ය කටයුතු යෙදුවේය. එම ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් 1950 දී ජි.ඒ.ඩි. පෙරේරා මහතාගේ මාර්ගෝපදේශකත්වය යටතේ හේවුඩ් කලායතනයට ඇතුළත්ව තුන් අවුරුදු පාඨමාලාවක්‌ හැදෑරීමට විපුලසාර හිමියන්ට හැකි විය. අනතුරුව ඒ.සී.ජි.එස්‌. අමරසේකර මහතා වෙතින් දිය සායම් භාවිතය පිළිබඳ පුහුණුව ලැබීය.


1951 විපුලසාරි හිමියන් ගේ නායකත්වයෙන් ජාතික කලා පෙරමුණ බිහි විය. ඒ කලා මණ්‌ඩලයේ විජාතික ඒකාධිකාරි ක්‍රියා පිළිවෙතට එරෙහිවය. ජාතික කලා පෙරමුණ වැඩි කල් යන්න මත්තෙන් දේශිය කලාවේ අනන්‍යතාවය ඉස්‌මතු කරණු දැකිය හැකිය. උඩරට පහතරට නැටුම් සඳහා කාන්තාවන් යොදා ගැනීම, කලාවට ලැදි කුසලතා පුර්ණ නවකයන්ට ක්‌ෂත්‍රයට අවතීර්ණ වීමට අතහිත දීම, ජාතික කලා පෙරමුණ හරහා විපුලසාර හිමියන් කළ සුවිශේෂ කාර්යයන් අතර වේ.


බලියට, තොවිලයට, පිරිතට, පිංකමට සීමා වු හබරල කොළය, ගොක්‌ කොළය ඉන් ඔබ්බටත්, ගමේ හතර සීමාවට සීමා වී සිටි හේවිස කරුවන්, නැට්‌ටුවන්, හා විවිධ අංශවල කලා කරුවන් කිසිදු භේදයකින් තොරව රජ ගෙදරටත් රට රාජ්‍ය වලටත් රැගෙන ගියේ විපුලසාර හිමියන්ය.

 

දේශිය කලා සම්ප්‍රදායන් පිළිබඳව ප්‍රමාණාත්මක අවබෝධයක්‌ ලබා ගානීමෙන් අනතුරුව අප හිමියන් අන්තර් ජාතික කලා ක්‌ෂේත්‍රය කෙරෙහිද යොමුවන දැකිය හැනිය. ඉන්දියාව, පකිස්‌ථානය, නේපාලය, ජපානය, කොරියාව, තායිලන්තය, බුරුමය, කාම්බෝජය වැනි ඉපැරණි කලා සම්ප්‍රදායන් හදාරා සිය කලා පරිඥාණය කුසලතාවය වර්ධනය කරගත් විපුලසාර හිමිපාණන් අපරදිග කලා සම්ප්‍රදායන් කෙරේද සිය අවධානය යොමු කරනු දැකිය හැකිය.

හයවැනි පවුළු පාප් වහන්සේ පළමුවෙන්ම ලංකාවට පැමිණියේ 1970 දීය. කටුනායක ගුවන් තොටුපොලට පමණක්‌ සීමා වු එම ගමනේදී එතුමා පිළිගන්නට සෑදූ මණ්‌ඩපය නිර්මාණය වුයේ අප විමලසාර හිමියන් අතිනි. එය දැක බලවත් සේ සතුටු වුනු පාප් වහන්සේ මේ නිර්මාණය කල විපුලසාර හිමියන්ට රෝමයේ වතිකානුවේ තම නිවෙස්‌නට පැමිණෙන ලෙස ආරාධනා කළේ අපමණ පැහැදීමකිනි. පසුව පාප් වහන්සේ බැහැදැකීමට විපුලසාර හිමියන් වතිකානුව වෙත ගියේ එතුමාට තුටු පඩුරක්‌ වශයෙන් තම දෙඅතින්ම නිම වුණූ බුදු පිළිමයක්‌ද රැගෙනය. එසේ ගිය විපුලසාර හිමියන් ග්‍රීක, රෝම කලා සම්ප්‍රදායන් අධ්‍යයනය කළේ වතිකානුවේ විශේෂ අමුත්තෙකු ලෙස රුදී සිටිමිනි.


1995 දී දෙවන ජුවාම් පාවුල් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා චාරිකාවේදී ද එතුමා පිළිගැනීමට ගාලු මෝදර පිටිය මණ්‌ඩපය නිර්මාණය කළේද විපුල සාර හිමියන්ය. ශ්‍රී ලංකාවේ ජනරජ ලාංඡනය නිර්මාණය කරනු ලැබුවේද විපුලසාර හිමියන් අතිනි. විපුලසාර හිමියන් විවිධ සිත්තම් සිතුවමට නැගූ අතර විවිධ මුර්තිද නෙලනු ලැබීය.
 
එහෙත් උන් වහන්සේ වැඩි අවධානයක්‌ යොමු කළේ බුද්ධ ප්‍රතිමාකරණයට ය. විපුලසාර හිමියන්ගේ දෙඅතින් නෙලූ බුදු පිළිම වල
සම්මා සම්බුදු පියාණන්ගේ මහා කාරුණිකත්වය, ලෝකෝත්තර ගුණ වලින් පිරුණු බව, මෛත්‍රී ගුණය, මනා පෞර්ෂත්වය වැනි උතුම් ගුණාංග විදහා පෑවේ දුටු දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගන්නා අයුරිනි. අනුරාධපුරයේ මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිම වහන්සේගේ කැඩී බිඳී ගිය තැන් පිළිසකර කිරීමත්, වසර ගණනාවක්‌ මහ පොළොව මත පතිත වී කැඩී බිදී විසිරී ගොස්‌ තිබුණු මාලිගාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ සකස්‌ කිරීම සිදු වුයේ අප හිමියන් වෙතිනි. මේ විපුපසාර හිමියන්ගේ කුසලතාවන් හි සදානුස්‌මරණීය අවස්‌ථාවේ.


කොටුව ජනාධිපති මැදුරේත්, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේත් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළේ විපුලසාර හිමියන් විසිනි. ලන්ඩන් බෞද්ධ විහාරය, ඇමරිකා එක්‌සත් ජනපදයේ ලොස්‌ ඇන්ජලීස්‌ හා නිව්යෝක්‌ බෞද්ධ විහාරයෙත්, කැනඩාවේ ටොරන්ටෝ බෞද්ධ විහාරයෙත් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළේ විපුලසාර හිමියන්ය. ලන්ඩනයේ පොදු රාජ්‍ය මණ්‌ඩලීය කෞතුකාගාරයේ තිබෙන බුදු පිළිමය අප හිමියන්ගේ නිර්මාණයකි.


හොංකෙං හි ලැන්ටඩ් දුපත් වල කදු මුදුනක පිහිටි විහාරයෙහි සියලු බිතු සිතුවම් බුද්ධ චරිතය ඇසුරින් නිර්මාණය කළේ විපුලසාර හිමියන්ය. ජපානයේ යෝකහෝමා පන්සලේ චිත්‍ර බුද්ධගයාවේ තිබෙන ජපන් පන්සලේ කැන්වස්‌ තිරයේ ඇදි විශාල චිත්‍රය අප හිමියන්ගේ නිර්මාණ වේ.


මේ අයුරින් උත්සහයෙන් අපිරිමිත ධෛර්යයෙන් කැප වීමෙන් ලත් දැණුම් සම්භාරය තුලින් අප හිමියන් ශ්‍රී ලංකා කලා ක්‌ෂත්‍රය තුළ නව පුනරුදයක්‌ ඇති කිරීම් වස්‌ පුරෝගාමි මෙහෙවරක නිරත විය. විපුලසාර හිමියනට ශ්‍රී ලංකා රජය කලාශුරී සම්මානයෙන් පිදුවෙය. තායිලන්තයේ මහා චූලාලංකාර විශ්ව විද්‍යාලය ආචාර්ය උපාධියකින් පිරිනැමුවෙය. ඉන්දියාවේ බරණැස විශ්ව විද්‍යාලය කලා විශාරද උපාධියෙකින් පිරිනැමුවේය. මෙම දෙස්‌ විදෙස්‌ පැසසුම් සියල්ල ලැබුවේ උන් වහන්සේ කලා කෙෂ්ත්‍රයට කල මහත් වු කාර්යය භාරය හා මහගු සේවාවට කෘත ගුණ සැලකීමක්‌ වශයෙනි.


එපමනක්‌ නොවේ බෞද්ධ භික්‌ෂුවක්‌ වශයෙන් ලොවට, රටට, ජාතියට, සසුනට අනගි මෙහෙවරක්‌ ඉටු කරණු ලැබීය. බෞද්ධ, කතෝලික, එංගලන්ත සභාව, මෙතෝදිස්‌ත සභාව, හින්දු, මුස්‌ලිම් වැනි ආගමික කොටස්‌ එක්‌කර ගනිමින් එක්‌සත් ආගමික සංවිධානය පිහිටවනු ලැබූවේ විපුලසාර හිමියන්ගේ මුලිකත්වයෙනි. එහි රැස්‌වීම් සියල්ල පැවැත් වූයේ ද රත්මලානේ පිරිවෙනෙනි.


භික්‌ෂුණී සාසනය නැවත මෙරට ඇති කිරීමේ කටයුත්තේදී එය මේ රටේ සිදු කිරීමට ඉඩ නොදෙන නිසා කොරියාවේ භික්‌ෂුන්ගේ සහය ගෙන මෙරටින් කාන්තාවන් දස දෙනෙකු ඉන්දියාවට ගෙන ගොස්‌ එහිදී මහණ කරවීය. එපමණටම අප හිමිපාණෝ විප්ලවීය නිදහස්‌ චින්තනයකින් යුතු අයෙකු වූහ.


අප හිමියන් ලෝක බෞද්ධ සම්මේලනයේ උපදේශක වරයෙකු විය. ලෝක සංඝ සම්මේලනයේ උප සභාපතිවරයෙකු විය. ලේකම් වරයෙකු විය. ඉන්දියාවේ මහා බෝධි සමාගමේ ලේකම් වරයෙකු විය. විපුලසාර හිමියන් දෑහිතකාමි පැවිදි ශිෂ්‍ය පරපුරක්‌ද බිහි කරණු ලැබීය. හැත්තෑපස්‌ වියේ පසුවෙමින් සිටියදී මාපලගම විපුලසාර මා හිමිපාණෝ අපවත් වී වදාළහ. ......... රූපං ජිරති මච්චානං නාම ගොත්තං නජිරති.   

(c) Shilpa Sayura Foundation 2006-2017