ස්‌ටැන්ලි අබේසිංහ
 

ස්‌ටැන්ලි අබේසිංහ නම් සිත්තරා මෙරට චිත්‍ර කලාව නැංවීම පිණිස සුවිශේෂ මෙහෙවරක්‌ කළ සිත්තරෙකි. කලාකරුවෙකි. 1914 ජනවාරි 26 වන දින උපත ලද අබේසිංහ ශාන්ත ජෝශප් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබ අනතුරුව ලංකා කාර්මික විද්‍යාලයට ඇතුළත් විය. කුඩා කල සිටම චිත්‍ර කලාව කෙරේ ඇල්මක්‌ දැක්‌ වු ස්‌ටැන්ලි අබේසිංහ අනුරාධපුර, පොළොන්නරු මිහින්තලේ ආදී ස්‌ථානයන්හි වූ කැටයම් ආදිය සටහන් කර ගනු ලැබුවේ එම ස්‌ථාන හරිහැටි එළි පෙහෙළි වීමටත් ප්‍රථමය. එසේ ගිය එක්‌ අතරවාරයකදී එතුමාගේ චිත්‍ර කලා දිවිය නව මගකට යොමු කළ එක්‌ සුවිශේෂ පුද්ගලයෙකු මුණ ගැසුණි. එසේ හමුවු පුද්ගලයා නම් අන් කවරෙකුවත් නොවේ එවකට ලංකාවේ චිත්‍ර කලාව පිළිබදව විද්වත් ආචාර්ය වරයෙකු වු වින්සර් වියතාය. එතුමා අප කලාකරුවාගේ චිත්‍ර කටයුතු වලට ඉත සිතින් අත හිත දුන්නේය.



1935 දී ඉන්දියාවට ගිය අබේසිංහ ලුම්බිනි, ගයා සාරානාත් එල්ලෝරා ආදී ස්‌ථානයන්හි සංචාරය කොට පෙරදිග මුර්ති පිළිබද
අවබෝධයක්‌ ලබා ගත්තේය. එපමණක්‌ ද, නැත. ඉඩ ලද හැම විටම තමා ලත් අත්දැකීම්, දැනුම මුසු කරමින් චිත්‍ර ඇන්දේය. ඒවා ලංකා කලා සංගමය මගින් පැවැත් වු ප්‍රදර්ශන සදහා ඉදිරිපත් කළේය. පිට පිටම තෑගි ද ලබා ගත්තේය. ස්‌ටැන්ලි අබේසිංහ ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය 1945 දී කොළඹ ඩාලිපාරේ ජායාරූප ශාලාව ඉදිරිපිට පැවැත්වූයේය. එසේ වුයේ ඒ වන විට කොළඹ කලා භවන දෙවන ලෝක සංග්‍රම කටයුතු සදහා යොදා ගෙන තිබුණි හෙයිනි. මෙම ප්‍රදර්ශනයට අප සිත්තරා විසින් අඳින ලද තෙල් සායම් හා දිය සායම් චිත්‍ර හැත්තෑපහක්‌ පමණ තබා තිබිණි.

1949 දී රජයෙන් පිරිනැමූ ශිෂ්‍යත්වයක්‌ මත එංගලන්තයට ගිය මෙම කලාකරුවා මහා බි්‍රතාන්‍යයේ ශාන්ත මැතිව් විද්‍යාලය ඇතුළු ආයතන කීපයකම අධ්‍යාපනය ලැබීය. ආචාර්ය බැසිල් ග්‍රේ යටතේ බිතු නිර්මාණය පිළිබඳ පුහුණුවක්‌ ලැබීය. ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය වැනි රටවලට ගොස්‌ යුරෝපා චිත්‍ර ශිල්පීන්ගේ කලා විශාරදයන්ගේ කෘති නරඹා දැනුවත් වුයේය. එංගලන්තයේදී ද චිත්‍ර ප්‍රදර්ශන පවත්වනු ලැබීය. මෙසේ පැවැත්වු එක්‌ චිත්‍ර ප්‍රදර්ශනයකදී මෙතුමාගේ "පෙරහැර" නම් චිත්‍රය දැඩි ප්‍රේක්‌ෂක, විචාරක ප්‍රසාදයට ලක්‌විය. ඉන් නිරූපණය කර තිබුණේ මහනුවර ඇසල පෙරහැරයි. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ චිත්‍ර ශිල්පියෙකු ලෙසද ස්‌ටැන්ලි අබේසිංහ කටයුතු කළේය. ඉන් අනතුරුව පෙරලා ලංකාවට පැමිණියේය.


1952 කලායතනයේ කථිකාචාර්ය පදවියක්‌ ලබා ගත්තේය. 1952 සිට 1965 දක්‌වාම එහි චිත්‍ර කලාව ඉගැන්වීය. ජේ.ඩි.ඒ. පෙරේරා ශුරින්ගෙන් අනතුරුව එහි විදුහල්පති විය. 1969 දී කලායතනයේ විදුහල්පති තනතුරෙන් විශ්‍රාම ලැබීය. ස්‌ටැන්ලි අබේසිංහ ලංකා කලා සංගමය පිහිටුවීමෙහිලා පුරෝගාමි මෙහෙවරක්‌ ඉටු කළේය. එහි උප සභාපතිවරයාද විය. පෙරදිග හා අපරදිග යුනෙස්‌කෝ සමිතියේ සභාපති ද විය. කලා සංගමයේ චිත්‍ර හා මුර්ති නිරීක්‌ෂකයකු ද විය. යුනෙස්‌කෝ ලංකා ශාඛාවේ කමිටු සාමාජිකයෙකු ලෙසද කටයුතු කලේය. එංගලන්ත, ලංකා, පකිස්‌ථාන් හා ඉන්දියා කලා සංගමයන්හි සාමාජිකයකු ද විය. ලන්ඩන් ආසියානු කලා සංගමයේ සාමාජිකයකු ද විය.


මෙතුමාගේ නිර්මාණයන් අතර 1945 දී නිමකළ "සංසාර ප්‍රශ්නය" ගැඹුරු මනෝභාවයන් මතු කරන නිර්මාණයක්‌ විය. ගමනාරම්භය නම් චිත්‍රයෙන් නුවර පෙරහැර පටන් ගන්නා තැන පිළිබඳ විස්‌තරයක්‌ අඩංගුවේ. උඩරට නැට්‌ටුවන් නිලමේ වරුන්ගේන් යුතු මෙම සිත්තම තෙල් සායම් වලින් අදින ලද්දකි. හැගුම්බර වර්ණ යෙදීම අප සිත්තරාගේ චිත්‍රවල දැකිය හැකි සුලභ ලක්‌ෂණයකි. "ලක්‌ෂ්මීන්ගේ උපත" අබේසිංහගේ කෘති අතර ප්‍රේක්‌ෂක විචාරක ප්‍රසාදය දිනාගත් නිර්මාණයකි. තේජෝ කසින භාවනා යෝගියෙකු නිරූපණය කරන භාවනාව තවත් ශ්‍රේෂ්ඨ නිර්මාණයකි. "වළං කඩේ" පැහැපත් අඳුරු සංගත නොවන වර්ණ හා හැඩතල දැක්‌වීමෙන් කරන ලද්දකි.


චිත්‍රය පුරා හැඩතල විසිරී ඇත. මැටි භාණ්‌ඩ චිත්‍රයේ සමබර බව රැකීමට හේතු කාරක වේ. කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ප්‍රධාන ගොඩනැගිල්ලේ නුවර පෙරහැර නම් සිතුවම අප සිත්තරාගේ සිත්තමකි. මෙම සිත්තම උසස්‌ නිර්මාණයක්‌ ලෙස බොහෝ විචාරකයන්ගේ අවධානයට ලක්‌ වුවකි.

ස්‌ටැන්ලි අබේසිංහගේ ප්‍රතිරූපය හෙවත් අලේඛ්‍ය සිතුවම් රැසක්‌ද කර ඇත. කෞතුකාගාරයේ ඇති බිතු සිතුවම් ද මෙතුමාගේය. කැළණි සරසවිය 1991 දී සම්මාන උපාධියකින් පුදනු ලැබුවේ මෙතුමා චිත්‍ර කලාවට කරන ලද සේවාව සංකේතවත් කරමිනි. 1995 අප්‍රේල් මස 5 වන දින ස්‌ටැන්ලි අබේසිංහ සිත්තරා අභාවප්‍රාප්ත විය.

(c) Shilpa Sayura Foundation 2006-2017