සෝලියස්‌ මැන්දිස්‌
 

කැලණි රජ මහා විහාරය හේතු දෙකක්‌ නිසා ශ්‍රි ලංකා වාසී ජනතාවගේ පමණක්‌ නොව ලෝක බෞද්ධ ජනතාවගේද අති ගෞරව බහුමානයට පාත්‍ර වී ඇත. ඉන් පලමු වැන්න බුදු සිරිපා පහස ලද සොළොමස්‌ථානයන්ගෙන් එකක්‌ වීමය. අති උතුම් පූජනීය ස්‌ථානයක්‌ වීමයි. දෙවැන්න කැලණිය චිත්‍රයි. කැලණි චිත්‍ර නිසා සෞන්දර්යශීලී මහා කලාගාරයක්‌ වීමයි. මේ චිත්‍ර අඳින ලද අසහාය කලාකරුවා වලිමුනි සෝලියස්‌ මැන්දිස්‌ සිත්තරාය.


සෝලියස්‌ මැන්දිස්‌ සිතුවම්කරුගේ රූ බසෙහි වෙසෙස්‌ සලකුණ වනුයේ අනුරපුර, පොළොන්නරු නුවර යුගවල චිත්‍ර හා මුර්ති සම්ප්‍රදායන් හා අජන්තා, එල්ලෝරා, භාග් වැනි ඉන්දියා චිත්‍ර මුර්ති සම්ප්‍රදායන් ගෙන් පෙරා ගන්නා ලද සාරය සිය බසට එක්‌ කළ කැළණි විහාර බිතු සිතුවම්ය.


කැලිණි වෙහෙර චිත්‍ර කර්මය සෝලියස්‌ මැන්දිස්‌ ට පැවරුනේද අපුර්ව දෛවයෝගයකිනි. කොළඹ සේදවත්තේ විජේවර්ධන පවුලේ ඇත්තන් සෝලියස්‌ මැන්දිස්‌ මාවිල සිට කොල්ලුපිටියට කැඳවාගෙන ආවේ සිය නිවසේ අලංකාරය පිණිස බිතුසිතුවම් කිහිපයක්‌ කරවා ගැනීම පිණිසය. මේ සිතුවම් වල චිත්තාකර්ෂණීයත්වයෙන් පිනා ගිය ඩි.ආර්. විජේවර්ධනයන් ඇතුලු පවුලේ අය කැළණියේ අලුත් බුදු මැදුරේ වැඩ සෝලියස්‌ මැන්දිස්‌ ට පැවරුවේය. අන් කිසිදු වෙහෙරක නොමැති ආකාරයට සිය වෙහෙරේ බිතුසිතුවම් නිමා කරවා ගැනීමට ඔවුනට අවශ්‍ය විය. සෝලියස්‌ මැන්දින් ඒ අරමුණ අපුර්වට යථාර්ථයක්‌ බවට පත් කළේය.












ඒ වනවිට සංස්‌කෘත පාලි සිංහල භාෂාවන් පිළිබද මනා දැනුමක්‌ හා ඉතිහාසය හා බෞද්ධ දර්ශනය ලාංකික චිත්‍ර කලා සමිප්‍රදය ගැන මනා අවබෝධයකින් යුත් නිවී සැනසුණු පුද්ගලයෙකු වු මේ පුද්ගලයාට ආසියානු චිත්‍ර කලා සම්ප්‍රදාය පිළිබඳ පුළුල් දැනුමක්‌ ලබා දීම වස්‌ ඉන්දියාවට යැව්වේය. සිය විදේශ ගමනේදී අජන්තා, එල්ලෝරා භාග් සිතුවම් නරඹා නොමද අශ්වාදයක්‌ ලබා ගත්තේය. එහෙත් පෙරලා මව් බිමට පැමිණියේ ඒ එකද සිතුවමක සටහනක්‌ හෝ පිටපතක්‌ හෝ ජායා රූපයක්‌ හෝ රැගෙන නොවේ. එහෙත් අජන්තා, එල්ලෝරා භාග් ගල් බිත්ති මත ඇදි ආසියානු සම්භාව්‍ය සම්ප්‍රදායේ රිද්මය සියුම් ලෙස උකහාගෙන මෙහි පැමිණියේය. අනතුරුව කැළණියේ නව විහාර ගෙයි බුදු මැදුරේ බිත්ති මත අප සිත්තරාණන් සිතුවම් කළේ එතුමාට ආවේනික වූ එතුමාට සුවිශේෂි වු සිතුවම් රැසකි. එම චිත්‍ර සම්ප්‍රධාය පැරණි ඉන්දීය බිතු සිතුවම් හා ලාංකික සම්ප්‍රදායක සිතුවම් කලාව ස්‌වකීය පරිචයක්‌ ස්‌වකීය පරිකල්පනයක්‌ එකට කළතා අප සිත්තරාටම ආවේණික වූ අද්වතීය වූ සුවිශේෂ වු චිත්‍ර සම්ප්‍රදායකි.

සෝලියස්‌ මැන්දිස්‌ සිත්තරා වර්ණ සංයෝජනය සඳහා යොදා ගත්තේ දේශිය අමු ද්‍රව්‍යයයි. කහ වර්ණය යොදා ගත්තේ හංවැල්ලේ පතලකිනි. හිරිගල් පාට ලබා ගත්තේ අත්තනගල්ලේ සිට අලවල හරහා යන දුනුමාලේ ගමෙනුයි. හොඳම මකුලු ලබා ගත්තේ දොඩම්දූවෙනි. නිල් පාට ලබා ගත්තේ නිල්ගම කන්දෙනි. කලු අඳුන හදා ගත්තේ පරණ කොහැල්ලෑ ආදිය යොදා ගනිමිනි. සායම් නිෂ්පාදනය සඳහා බිත්තර සුදු මදය යොදා ගනු ලැබීය. ඒ සඳහා පිටකොටුව බිත්තර වෙළඳ පොළට යන එතුමා බිඳුණු බිත්තර පමණක්‌ යොදා ගනු ලැබීය. කුට වෙළඳුන් උවමනාවෙන්ම බිත්තර බිඳ දමා තමාට විකුණන බව දැනගත් එතුමා ඒ රැවටිල්ලෙන් බේරීම සඳහා බිත්තර සාර වෙනුවට විකල්ප ශාක සාර විශේෂයක්‌ යොදා ගත් බව සැලයි.


විහාර බිතු සිතුවම් සඳහා වස්‌තු විෂය තෝරාගැනීමේදී ද සෝලියස්‌ මැන්දිස්‌ වෙනස්‌ම වෙනස්‌ මගක්‌ ගනු ලැබීය. අපාය, දෙව්ලොව, ජාතක කතා, බුදු සිරිත, බුද්ධ ප්‍රාතිහාර ඇඳීම පන්සල් චිත්‍ර කලාවේ සම්මතය වී තිබුණු යුගයක අප සිත්තරා කැලණිය සඳහා තෝරාගත්තේ ලංකාවේ සංස්‌කෘතික ඉතිහාසයයි. බුදු රදුන්ගේ ලංකා ගමන, චූලෝදර-මහෝදර යුද වැදීම, ලංකාවට ජය සිරිමහා බෝධිය වැඩම කරවීම, දන්ත කුමරු හා හේමමාලා කුමරිය දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවීම, කැලණි ඉතිහාසය, විහාර මහාදේවි පුවත, ආදී අප රටටම ආවේණික බුද්ධ සංකල්ප සිද්ධි කැලණි චිත්‍ර අතරට එක්‌ වුයේ එතුමා පන්සල් චිත්‍ර කලාවේ වස්‌තු විෂය විප්ලවීය වෙනසකට භාජනය කළ හෙයිනි.


මේ අයුරින් සුවිශේෂි සිද්ධි මාලාවන් තෝරාගත් අප සිතුවම්කරුවා විශාල හතරුස්‌ හෝ ආයත චතුරස්‍රාකාර ප්‍රදේශයක්‌ මත සිත්තම් කරණු ලබයි. කලු මිශ්‍ර වර්ණයෙන් සිත්තම් මතුකර පෙන්වයි. තලයේ ඉඩක්‌ නොතබා මානව රූප හෝ ගස්‌ වැල් වලින් හෝ සුවිශේෂ රිද්මයකට තාලය පුරවනු ලබයි. අප සිත්තරාණන් නිර්මාණය කළ මානව රුප අතිශයින් හැගීම් බරය. ගස්‌ කොළන් චමත්කාරය. මන බඳින සුලුය. සියුම්ය. ජීවමානය. රේඛාව දුව වනුයේ චිත්‍රත් පසුබිම් වර්ණ අතර ඒකාත්මීය සම්බන්ධතාවයන් ගොඩ නගමිනි.


වර්ණ යොදන්නේ තේමාවට අවස්‌ථාවට ගැලපෙන අයුරිනි. මානව රූප පැහැපත් ඡවි වර්ණයෙන් යුත් ආර්ය දේහ ලක්‌ෂණ පිළිඹිඹු කරයි. දෑස්‌ කාන්තිමත්ය. මුහුණුවල නාශිකා තියුණුය. බුදු රදුන්ගෙ රූප සඳහා අතිශය ප්‍රසන්න වර්ණ යොදා ගනී. යක්‌ෂ රූප සඳහා අදුරු වර්ණ නැතහොත් රළු පරළු දුඹුරු වර්ණ යොදා ගනී. තරමක්‌ ඉදිරියට නෙරා ආ උදරය කාටත් පොදුය. ස්‌ත්‍රින් මෙන්ම පිරිමින් ද කුණ්‌ඩලාභරණයෙන් සැරසී සිටී. ස්‌ත්‍රි සිත්තම් වල මෙන්ම පිරිමි සිත්තම් වලද අත්පා පිරිපුන්ය. මොලොක්‌ය. කෝමලය. ඇගිලි දිගය. සිහින්ය. දේහය රිද්මය ය.


කැළණි විහාරයේ වම් පසින් ඇති මන්දිරයේ විශිෂ්ඨ කලා ලක්‌ෂණයක්‌ගෙන් පිරි විශාල බිතු සිතුවම් හතරකි. බුදු රජානන් වහන්සේ ලක්‌දිවට වඩින අයුරු දැක්‌වෙන මහියංගනං, නාගදීපං. කල්‍යාණං පදලාංඥනං, යනුවෙන් නම් කර ඇති එම සිතුවම් මගින් ඒ අවස්‌ථාවේ දි සිදුවු සිද්ධි නිරුපණය වේ.


"මහියංගනං" නැමැති චිත්‍රයෙන් දැක්‌වෙන්නේ බුදුරජාණන් වහන්සේ පළමු වරට මහියංගනයට වැඩ යකුන් දමනය කළ පුවතයි. බුදු රජාණන් වහන්සේ අහසෙයි වැඩ සිටිමින් මැවු අන්ධකාරයට බියපත් වු යකුන් උන් වහන්සේගෙන් අභය ඉල්ලු ආකාරය හැගිම් දනවන අයුරින් නිරූපිතය. උන් වහන්සේ වැඩ හුන් පත්කඩ ගිනි ගෙන ස්‌භාවයද හොදින් නිරූපණය කර ඇත. මෙහිදී බුදු රදුන්ගේ රූපයට ප්‍රසන්න වර්ණ යොදා ගනු ලබන අතර යක්‌ෂ රූපයන්ට අළු හා කාල වර්ණ යොදා ගනු ලබයි.


"නාගදීපං" නැමැති චිත්‍රයෙන් දැක්‌වෙන්නේ බුදු රදුන් දෙවන වර ලක්‌දිවට වැඩම කළ නාගදීපයට වැඩි පුවතයි. මිණි පළහක්‌ නිසා නාගදීපයේ හට ගන්නට ගිය යුද්ධයක්‌ වැළැක්‌ වු අයුරු මෙහි දැක්‌වේ. යුද්ධයට හේතු වු මිණි පළහට ඉහළින් උන් වහන්සේ වැඩ සිටිති. සෑම නාග ගෝත්‍රිකයකු ගේම ඇස්‌ බුදු රදුන් දෙසට නැඹුරු වී ඇති සැටි අපූරුවට දක්‌වයි. මෙහිදී බුදු රුව සඳහා අදුරු හා දුඹුරු කහ වර්ණත් නාඟ ගෝති්‍රකයන් සඳහා දුඹුරු පාටට හුරු වර්ණ මාලාවකුත් යොදා ගනි.


"කල්‍යාණං" නම් සිත්තමෙන් බුදු රදුන් තෙවෙනි වර ලංකාවට වැඩම කොට මණි අක්‌ඛිත නම් නා රජුන් විසින් පුදන ලද මිණි පළග මත වැඩ සිට දහම් දෙසන අයුරු දැක්‌ වේ. කැලණි විහාරය ගොඩනගා ඇත්තේ මෙම මිණි පළග නිදන් කොටය. බුදු රදුන්ගේ දෑත විතර්ක මුද්‍රවෙන් නිරූපිතය. මණි අක්‌ණයිදු ඇතුලු නාග පිරිස්‌ මහත් බැතියෙන් මිණි පළගෙහි වැඩ සිටින බුදු රදුන් දෙස සවන්, නෙත් යොමු කරන අයුරු දිස්‌ වේ. බුදු රදුන් වැඩ සිටින්නේ පද්මාසන ක්‍රමයටය.


"පදලාංඥනං" සිත්තම වෙනස්‌ කරනුයේ බුදු රදුන් තෙවනවර ලංකාවට වැඩීමේදී සමනළ පව්ව මත සුමන සමන් දෙවි ඇරැයුමෙන් සිරිපා පිහිටුවන ආකාරයයි. උන් වහන්සේ ඉදිරියේ නමස්‌කාර කරණු ලබන සමන් දෙවියන් සිටින අතර දෙපසින් මහා සංඝයා සිටින අයුරු දිස්‌වේ. මේ සදහා ගුරු කහ මිශ්‍ර වර්ණ යොදා ගනී.


මහා විහාරයේ සීමා ලකුණු කිරීම, ජය ශ්‍රී මහා බෝධිය වැඩම වීම, කැලණි තිස්‌ස රජු හා විහාර මහා දේවිය, තෙරණුවන් උණු තෙල් සැලියක ලා මැරවීම, මහසයුර ගොඩගලා ඒම, දේවි කුමරිය මුහුදට බිලි වීම, පෘතුග්‍රීසින් කැලණි වෙහෙරට කළ විනාශය සිද්ධි ජීවමය ලෙස සිය තෙලිතුඩට හසුකරගෙන ඇත. ඒ ඒ සිද්ධිවලට අනුකූල අයුරින් වර්ණ ගැලපීම, සංරචනය, භාව ප්‍රකාශනය දක්‌වන අයුරු අපුරුය.


මේ සිතුවම් අතර දළඳා වහන්සේ ලක්‌දිවට වැඩම කරවීම අතිශයින් සුවිශේෂ වු චිත්‍රයක්‌ වේ. හේමමාලා කුමරියත් දන්ත කුමරුත් අප්‍රසිද්ධ වේශයෙන් මහවන පියසක්‌ මැදින් දළඳාව වැඩම කරවන ආකාරය මෙම සිත්තමින් නිරූපිතය. හේමමාලාවෝගේ සිරුර ස්‌ත්‍රී ලාලිත්‍ය මනාව එළිදක්‌වනු ලබයි. දන්ත කුමරු ගමනට සුදුසු ආම්පන්නද රැගෙන එනු ලබයි. මේ සිත්තම සදහා අප සිත්තරාණන් භාවිතා කර ඇත්තේ ගුරු, දුඹුරු, අදුරු කහ යන වර්ණ ප්‍රභේදයන්ය. ශරීරයේ ත්‍රිමාන ලක්‌ෂණ දැක්‌වීමට ඉතා සියුම් රේඛා හා තිත් යොදාගනු ලබයි. පසු තලයේ ගස්‌ වල කොළ සඳහා යොදාගෙන ඇත්තේ දුඹුරු මිශ්‍ර පච්ච වර්ණයේ ප්‍රාභ්දයන් කීපයකි. ගහේ කඳ කලාත්මකව දක්‌වයි. මේ නම් අප සෝලියස්‌ මැන්දිස්‌ ගේ ශිල්පීය දක්‌ෂතාවයමය. හැකියාවමය.



වලිමුණි සෝලියස්‌ මැන්දිස්‌ කලාකරුවා උපත ලැබුවේ මාදම්පේ මහබැද්දේ ගමේදීය. ඒ සහෝදර සහෝදරියන් නව දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැන්නා ලෙසය. දිනය 1899 ජුලි මස 12 වැනි දිනය. පියා ආයුර්වේද වෛද්‍ය වලිමුනි සිරිනේලිස්‌ මැන්දිස්‌ය. මව සිරෝ මැන්දිස්‌ය.


මාදම්පේ ක්‍රිස්‌තියානි පාසලෙන් අත් පොත් තැබු සෝලියස්‌ මැන්දිස්‌ හත් වන පංතිය දක්‌වා එහි උගත්තේය. අනතුරුව නාත්තන්ඩිය වීරහේනේ විද්‍යාරත්න පිරිවෙනට ඇතුළත්ව කිරිවන්තුඩුවේ හිමියන් වෙතින් පාලි සංස්‌කෘත ආදී පෙරදිග භාෂා උගත්තේය. පියාණන්ගේ අභිලාශය වුයේ පුතාද තමා මෙන් වෛද්‍යවරයෙකු කිරීමය. එහෙත් සිදුවුයේ පියා සිහිනෙනුදු නොසිතු පරිදි අනෙකකි. ඒ වෙදකමට හොරා මුර්ති ශිල්පයට පෙම් බැදීමය.


සෝලියස්‌ මැන්දිස්‌ දරුවා මාවිල පන්සලේ චිත්‍ර අඳිමින් සිටි චිත්‍ර ශිල්පින් සමග එකතු වී තෙලි කුර අතට ගත්තේය. තෙලි කුර සමග කාලය ගෙවන හැටි දුටු ප්‍රභාසාර නායක හිමියන්, "....... ඔහොම ශිල්පයක්‌ හුරුකර ගැනීම නම් හොදයි. ඒ වුනාට ඉගෙනීම අවසන් කර ගෙන ඒ කටයුතු වලට බැසීමයි නුවණට හුරු....." යැයි පැවසුවේ ඉගෙනීමේ කටයුතු වලට වඩා සිතුවම් ඇඳීමට වැඩි අවධානයක්‌ යොමු කරනු දැකීමෙනි.


එදා මාවිල පන්සලේ නෙලන ලද අද ද ආරක්‌ෂා වී ඇති මතු බුදු වන බෝධි සත්ව රුව අප සිත්තරාණන් කුළුඳුලේ නෙළන ලද මුල්ම සිත්තමයි. ප්‍රථම කලා නිර්මාණයයි. සෝලියස්‌ මැන්දිස්‌  සිතුවම් කලාව උගත්තේ ස්‌වොත්සහයෙනි. පන්සලේ බිත්තිය එතුමාගේ චිත්‍ර කලා පාසල විය.



 ගෝතමී විහාරයේ ඇඳි සිතුවමක්
එතුමා මුල් යුගයේ චිත්‍ර අඳින ලද පන්සල් කීපයක්‌ වේ. ගිරිඋල්ල මැද්දේපොළ පුරාණ විහාරය, මල්වානේ ලෙනගම්පල පුරාණ විහාරය, පොළොන්නරුවේ ජය ශ්‍රී විහාරය, අම්පාරේ ජයමංගල මහා විහාරය, නාත්තන්ඩිය මාවිල සුමන කුසුමාරාමය, හබරාදුව පිටදුවේ කැළණියන්ගොඩ විහාරය ඒ අතර වේ. මෙම විහාර සදහා අප සිත්තරාණන් මුලාදර්ශ කරගෙන තිබුණේ පොළොන්නරුවේ තිවංක පිළිමගෙය ප්‍රධාන කොට ඇති අනුරපුර, පොළොන්රු යුගයේ සිතුවම් හා මුර්තිය.


මේ අයුරින් 1930 සිට 1948 තුරා පුරා අවුරුදු 18 ක්‌ කැලණිය වෙනුවෙන් සිය නිර්මාණ දායකත්වය කැපකළ, තාරුණ්‍යය දියකළ සෝලියස්‌ මැන්දිස්‌ නම් මහා කලාකරුවාට අවසන ඉතිරි වුයේ මහා කලකිරීමක්‌ පමණි. එයට හේතු වුයේ මේසා මහත් කලා මෙහෙවරක්‌ ඉටුකළ කලා කරුවාණන් අභිබවා ඇතුලු ගෙයි රිදී පිළිමය පිටුපස හිමාල අඩවිය නිරූපණය කිරීම වස්‌ ජර්මන් ශිල්පියකු ගෙන්වීමට පාලන අධිකාරිය ගත් තීරණයයි.

අහේතුක, අනපේක්‌ෂිතව අත්විදීමට සිදුවූ මෙම පසුබෑම හේතු කොටගෙන දැඩි චිත්ත පීඩාවට පත්වූ අප සිත්තරාණන් සියලු කටයුතු නවතා යළිදු සිය ගම බලා ගියේය. යළිදු කිසිදු විහාර කර්මාන්තයක නොයෙදුනේය. අනතුරුව එතුමා ගත් තීරණය සංවේදී මිනිස්‌ සිත දැඩි ලෙස සසල කරවනු ලබයි.


රුපියල් ලක්‌ෂ ගණනක මුදලක්‌ වැයකොට ආබාධිත දරුවන් වෙනුවෙන් මහ වැව "සිව් රාජ" නම් පාසැලක්‌ ඇති කළේය. එහි නඩත්තුව සඳහා තමා සතු අක්‌කර 85 ක්‌ වු ගොඩමඩ ඉඩම් පරිත්‍යාග කළේය. එහි දරුවන්ගේ ප්‍රායාජනය සඳහා තමා සතු මෝටර් රථය ද දී එතුමා පාදයෙන් ගමන් බිමන් ගියේය. අඳ බිහිරි විද්‍යාලයට යාබද ඉඩමක කුඩා නිවසක්‌ තනා අවසාන සුසුම් පොද වාතලයට එක්‌ කරන තෙක්‌ම එහි විසීය. ඉතා සරල චාම් අල්පේච්ජ ජීවිතයක්‌ ගතකළ සකල විධ දුෂ්චරිතයන්ගෙන් වැලකුණු මේ උදාර මිනිසා මිය යනතුරුම අනගාරිකව විසීය. 1975 සැප්තැම්බර් මස 01 වන දින සෝලියස්‌ මැන්දිස්‌ නම් මේ කලාකරුවා සදහටම දෙනෙත් පියා ගත්තේය. එ‍හෙත් එතුමා ජනතා හදවත් තුළ සදා ජීවත් වනු ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017