වැලිගම අද්දරවෙල ගමේ උපන් සීමන් මේරි පතිරණගේ චාල්ස් නොහොත් කලාශූරී එස්. පී. චාල්ස් සිංහල සම්ප්‍රදායික චිත්‍ර කලාව ස්‌වකීය ආත්මය කොටගෙන ඒ හා බැඳුණු පුරාවෘත්ත සොය සොයා එල්. ටී. පී. මංජු ශ්‍රී සිත්තරා මෙන් ගමින් ගමට යමින් එහි පුනර්ජීවනය සඳහා සිය ජීවිතයම කැප කළ සිත්තරෙකි. "සිංහල සාම්ප්‍රදායික චිත්‍ර කලා අසපුවේ නිහඩ ඉසිවරයා" යන විරුදාවලියෙන් එතුමා හඳුන්වන්නේ එහෙයිනි.
මෙතුමා මෙරට චිත්‍ර කලාව සම්බන්ධයෙන් කරණු ලැබූ සේවාව අති විශාලය. සුවිශේෂිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සෙංකෝලය, සිංහ කොඩිය, බුද්ධ ජයන්ති කොඩිය, සෙනෙට් ලාංඡනය, නිර්මාණය කරණු ලැබුවේ මෙතුමා විසිනි. මහවැලි මහා වංශයෙහි කලා හා කලා වංශ ලේඛකයා වුයේ මෙතුමාය. පුරා විද්‍යා ශත සංවත්සරයෙහි පොළොන්නරු කලාව හා කලා ශිල්ප පිළිබඳ විග්‍රහය මෙතුමාගේය. මෙතුමා ගත්කතු වරයෙකුද විය. චිත්‍ර කලාව හදාරණ දරු දැරියන් වෙනුවෙන් හා චිත්‍ර කලාව පිළිබඳ උනන්දුවක් දක්‌වන්නන් වෙනුවෙන් ග්‍රන්ථ රැසක් මෙතුමා එළි දක්‌වනු ලැබීය. වර්ණ අධ්‍යයනය, සාරි පින්තාරු කිරීම හා මුද්‍රණය, සීගිරිය, පෙරදිග රේඛා මෙතුමා එසේ එළි දක්‌වන ලද ග්‍රන්ථ අතර වේ.
පැරණි බොහොමයක් පන්සල් විහාරාමවල පුරාණ චිත්‍ර පොතු ගැලවී ඉරිතලා සායම් මැකී යමින් පැවතිණ. මේවා පුනරුත්ථාපනය කිරීමටත්, අලුතෙන් සාම්ප්‍රදායික චිත්‍ර ඇඳීමටත් සිත්තරුන් නොමැති වීම බරපතල ජාතික ප්‍රශ්නයක්‌ව පැවතිණ. මෙය සාම්ප්‍රදායික චිත්‍ර කලාව අපෙන් අහිමි වී යන තත්වයක් බව වටහා ගත් චාල්ස් කලාකරුවා කොළඹ කෞතුකාගාර දෙපාර්තුමේන්තුවේ දේශන ශාලාවේ සාම්ප්‍රදායික චිත්‍ර කලා ව්‍යාපෘතිය නමින් ඉතා වැදගත් වැඩ පිළිවෙලක් පවත්වාගෙන ගොස් එම ජාතික අවශ්‍යතාවය පිරිමැසීය.
සාම්ප්‍රදායික චිත්‍ර කලාව ඉගැන්වීම සඳහා නිදහස් ආයතනයක අවශ්‍යතාවය මෙතුමා කලක සිට අවබෝධ කරගෙන සිටියේය. ජාතික සාම්ප්‍රදායික චිත්‍ර කලාව නංවාලමින්, සම්ප්‍රදායික චිත්‍ර කලා කුශලතා ඇති වත්මන් පරපුරේ තරුණ තරුණියන්ට තැනක් ලබාදීමටත් අඩු වශයෙන් ව්‍යාපෘතියක්‌වත් තිබිය යුතු බව එතුමාගේ අදහස විය. මෙයට මුලික පදනම දමන ලද්දේ චාල්ස් සිත්තරාගේ පුරෝගාමිත්වයෙන් පිහිටුවා ගත් පාරම්පරික චිත්‍ර ශිල්පීන්ගේ සංගමයයි. මෙම ව්‍යාපෘතිය ආරම්භ කරණු ලැබුවේ 1986 දීය. මෙහිලා සංස්‌කෘතික දෙපාර්තුමේන්තුවත්, ජාතික ආධුනිකත්ව මණ්‌ඩලයත්, කෞතුකාගාර දෙපාර්තුමේන්තුවත් එතුමාට ප්‍රබල අත්වැලක් සපයනු ලැබීය.
ගලිගමුවේ බිසෝවෙල රජමහා විහාරයේ චිත්‍ර අන්දවනු ලැබුවේ මෙම ව්‍යාපෘතියේ සිසු දරු දැරියන් අතිනි.
එදා - මෙදා තුර අප කලාකරුවා අතින් නිර්මාණය වු පන්සල් චිත්‍ර සිය දහස ඉක්‌මවා යයි. රට පුරා ගම් නියම්ගම් පුරා ඇති පන්සල් හතලිහකටත් හැටකටත් අතර සංඛ්‍යාවක චිත්‍ර ඇඳීම අප සිතුවම්කරු අතින් සිදු වී ඇත.
වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ නානායක්‌කාර ගුරුතුමාගෙන් හොඳින් චිත්‍ර කලාව උගත් චාල්ස් ශිෂ්‍යයා සම්ප්‍රදායික චිත්‍රකලාව පිළිබඳ අත් පොත් තැබුවේ සිද්ධාර්ථ විද්‍යාලයට වැටෙන් එහා පැත්තේ වු අග්‍රබෝධි විහාරයේ බිතු සිතුවම් අදිමින් සිටි සිත්තර ගුරුන්නාන්සේ වෙතිනි. ළමා වියේදීම සැගවී සිටි කුසලතා, උපන් හපන්කම් විකසිත වූයේ මෙහිදීය. අනාගත මහා සම්ප්‍රදායික චිත්‍ර කලා ගුරුවීමේ පළමු පාරමිතාව අප සිත්තරාණන් විසින් පුරණ ලද්දේ මෙම සිත්තර ගුරුන්නාන්සේ හමුවේදීය.
අවසාන ගුරු සහතිනය ලැබීමෙන් අනතුරුව කළුතර කුරුවිට විද්‍යාලය කෑගල්ල ඉද්දමල්වත්ත බෞද්ධ විද්‍යාලය හා මරදාන මහා විද්‍යාලයේ ද ගුරුවරයෙකු වශයෙන් සේවය කරණු ලැබීය. 1944 දී මරදානේ කාර්මික විද්‍යාලට ඇතුළත් විය. මරදානේ ලංකා කාර්මික විද්‍යාලයෙන් චිත්‍ර හා කලා ශිල්ප අංශය වෙනම ගෙන රජයේ ලලිත කලායතනය පිහිටු විමෙන් අනතුරුව එහිදී කථිකාචාර්ය වරයෙකු වී, එතැන් සිට රජයේ ලලිත කලායතනය සෞන්දර්ය විශ්ව විද්‍යාල තත්වයට උසස් කරන ලදුව එහිදී කථිකාචාර්ය වරයෙකු විය.
1982 සිට මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ මහනුවර ව්‍යාපෘතියේ ප්‍රධාන චිත්‍ර ශිල්පි තනතුර දැරුවේ ද අප චාල්ස් සිත්තරාය. එහිදී පාරම්පරික චිත්‍ර පිටපත් කිරීමේ මෙතුමා නිරත විය. පාරම්පරික චිත්‍ර වලට කිසිදු හානියක් නැතිව එහි කිසිදු වෙනසක් නොකර වර්ණ පතුරු ගැලවී ගිය අයුරින්ම පැරැණි චිත්‍ර පිටපත් කිරීමෙහිලා චාල්ස් සිත්තරාණන්ට ඇත්තේ අපූර්ව කුශලතාවකි. මහනුවර ගංගාරාම විහාර චිත්‍ර පිටපත් කිරීමේ කාර්යයේ මෙතුමා මේ සම්බන්ධයෙන් තැබූ සුවිශේෂ සටහනකි.