දැදිගම යුවරාජයා වූ පරාක්‍රමබාහුගේ මරණයෙන් පසු ඔහුගේ පුත්‍රයා වූ පරාක්‍රම ඈපා සහ උඩරට ප්‍රදේශයේ "ජෝතිය සිටාණන්'' යන දෙදෙනා අතර බල තරඟයක් ඇතිවිය. වඩා බලවත් වූ ජෝතිය, කෝට්‌ටේ බලය නොපිළිගෙන අවුරුදු පතා ගෙවූ අයබදුද නතර කළේ ය. උඩරට ප්‍රදේශවල ජනතාව ලවා කෝට්‌ටේ රජුට විරුද්ධව කැරැල්ලක් ඇති කළේ ය. 6 වන පරාක්‍රමබාහු රජු අම්බුළුගල කකුමාරයා ප්‍රධාන හමුදාවක් උඩරටට යවා ජෝතිය සිටාණන් සිරබාරයට ගත්තේ ය. උඩරට ප්‍රදේශවල පාලනය පරාක්‍රම ඈපාට පවරා දෙන ලදි.
මාතලේ ප්‍රදේශයෙන් මතුවූ වූ වික්‍රමබාහු නම් කුමාරයෙක් නැවත උඩරට කැරැල්ලක් ඇති කළේය. එය මර්දනය කිරීම සඳහා පරාක්‍රම ඈපා දැදිගම සිට උඩරටට ගියේ ය. වික්‍රමබාහු සමඟ කළ සටනින් පරාක්‍රම ඈපා පරාජයට පත්ව වෙල්ලස්‌සේ දොඩම්වලට පැන ගියේය.
මොහු දොඩම්වල පරාක්‍රම ඈපා නමින් ප්‍රසිද්ධ විය. වික්‍රමබාහු කකුමාරයා "සේනාසම්මත වික්‍රමබාහු" නමින් ක්‍රි.ව. 1463 දී සෙංකඩගල (මහනුවර) රජ විය. පරාක්‍රම ඈපාගේ පලායාමෙන් හිස්‌වූ යුවරාජ පදවිය අම්බුලුගල කුමාරයාට ලැබුණු අතර ඔහු අම්බුළුගල තම පාලන මධ්‍යස්‌ථානය ලෙස තෝරා ගත්තේ ය.