පරාක්‍රමබාහු (පරාක්‍රම ඈපා) 1410

 

1409 දී රයිගම පාලනය කල වර අලකේශ්වර රයිගම රජු ලෙස පෙනී සිටියත් ගම්පොළ සේනාධිලංකාර ඇමති ඇතකුළු කන්ද උඩ පස්‌ රටේ ප්‍රධානීන් ඔහුගේ ආධිපත්‍යය පිළිගෙන නැත. මෙම පිරිස එක්‌ව සේනාධිලංකාර ඇමතිගේ මුනුපුරෙකු 1410 වර්ෂයේ පරාක්‍රමබාහු නමින් මහනුවර රජ කරවූ බව අස්‌ගිරි තල්පතේ සඳහන් වෙයි. සද්ධර්ම රත්නාවලියේ සඳහන් වන අන්දමට මහනුවර පාලකයා "පරාක්‍රම ඈපා" ලෙස දක්‌වයි.

වීර අලකේශ්වර අල්ලා ගැනීමට චෙං - වෝට උපකාර කර ඇත්තේ සෙංකඩගල පරාක්‍රමබාහු රජුගේ ඔත්තකුකරුවන් බව පෙනී යයි. අලකේශ්වර ඇතකුළු සිරකරුවන් පිරිස චීනයට ගෙන ගිය පසු චීන ඇමති මණ්‌ඩලය ඔවුන්ට මරණ දඬුවම නියම කළ බවත් අධිරාජ්‍යයා ඔවුන් එම දඬුවමින් නිදහස්‌ කොට චෙං - හෝ සෙන්පතිගේ උපදෙස්‌ පිට "යෙහිපා -න-යිනා'' චීනයේ අධිරාජ්‍යයා යටතේ ලංකාවේ පාලකයා ලෙස නම් කළ බවත් චීන මූලාශ්‍රවල දුක්‌වේ. ඉන්පසු සිරකරුවන් සියලු දෙනාම ආපසු ලංකාවට එවනු ලැබීය. "යෙහිපා - න-යි-නා'' යනුවෙන් චීන බසින් හඳුන්වා ඇත්තේ සෙංකඩගල "පරාක්‍රම ඈපාණන්'' බව නිගමනය කර ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017