ආදී මානව වර්ග ජීවත්වූ යුග
 

ලෝකයේ විවිධ මානව වර්ග ජීවත්වූ යුගයන් පහත පරිදි කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකිය.

1. දඩයම් යුගය - දඩයම ප්‍රධාන ආහාර සපයාගැනීමේ ක්‍රමය විය.
2. එ‍‍ඬේර යුගය - සතුන් ඇති කිරීම ප්‍රධාන ආහාර සපයාගැනීමේ ක්‍රමය විය.
3. ගොවි යුගය - ගොවිතැන් කිරීම ප්‍රධාන ආහාර සපයාගැනීමේ ක්‍රමය විය.

දඩයම් යුගය
දඩයම් යුගයේ මිනිසාට නිශ්චිත වාසස්ථාන නොවීය. ආහාර සොයමින් වනාන්තරයේ තැන් තැන් වල ඇවිද ගිය මොවුන්ට අව් වැසි වලින් ආරක්ෂා වීම සඳහා ගල්ගුහාවල ජ්වත් වූහ. ඔවුන් විසින් දඩයම් කිරීම සඳහා ගල් පතුරු, ගල් මුවහත් කර ආයුධ මෙන් සකස්කර ගෙන ඇත. තවද සතුන් මරා මස් අනුභව කර මරණ ලද සතුන්ගේ හම් ඇඳුම් ලෙස යොදා ගන්නට ඇත. මස් කල්තබා ගැනීමට නොහැකි වීමත්, දිනපතා දඩයම් සොයාගැනීමට සිදුවීමත්, වැසි ආදී දිනවල දඩයම් හිඟ වීමත්, දිනපතා දඩයම් නොලැබීමත්, දඩයම් අනතුරුත් මොවුනට තිබූ ප්‍රධාන ප්‍රශ්න වන්නට ඇත.







දඩයමේ ඔවුන් කෙතරම් දක්‍ෂ වූවාද කියහොත් අලින් වැනි විශාල දැනට ලොවින් වඳවී ගිය මැමත් නම් සත්වයන් දඩයම් කිරීමටද පුරු වූහ.
 
 

 

 

 


දඩයම් යුගයේ පවුලක් චිත්‍ර ශිල්පියකුගේ ඇසින්



එඩේර යුගය
එඩේර යුගයේදී දඩයම් කරුවා තම ආහාර අවශ්‍යතා සඳහා සතුන් ඇති කිරීමට හුරුවිය. මෙතෙක් සතුන් මරා මස් කමින් සිටි මිනිසුන් සතුන් හීලෑකර තබාගෙන අවශ්‍ය විටක දී ඔවුන්ගෙන් ආහාර ලබාගැනීමට හැකි බව අවබෝධ කරගත්හ. එළහරකුන් හා එළුවන්ගෙන් කිරි හා මස් ලබාගැනීම, හම් ලබාගැනීමට හැකිවිය. බල්ලා සහ අශ්වයා ද ඔවුන් හීලෑ කරගත් සතුන් විය. ඔහු බැටළුවන්, ඇන්ටිලොප්, එළුවන්, බයිසන් ගවයන්ද ඇතිකරන්නට ඇති බව ගුහා වල ඇඳ ඇති චිත්‍ර වලින් දැක ගත හැක.



එඬේර යුගය වන විට මිනිසාට ගින්දර භාවිතය ගැන හොඳ අවබෝධයක් තිබුණු අතර, මැටි අනා පුලුස්සා වළං ආදිය සාදාගන්නටද හුරුවී සිටියේය. එඬේරකු ලෙස දේශගුණය වෙනස්වන විට ඔහු වාර්ෂික චක්‍රයක තැන් තැන් වලට යාම කළේය. තම සතුන්ට තණ කැවීම ආදිය සඳහා ඔවුන්ට තැනින් තැනට මාරුවීමට සිදුවිය.

 

ගොවි යුගය
තණබිම සොයා ගංගා නිම්න ආශ්‍රිත සරු මිටියාවත් සොයාගිය ඔවුනට, එම මිටියාත්වල ස්ථීර වාසභුමි පිහිටුවාගෙන සරුසාර පස සහ ජල පහසුව සහිත මිටියාවත්වල ගොවිතැන් කළ හැකි බව වැටහුණි. ඒ අනුව සතුන් ඇති කිරීම මෙන්ම ගොවිතැන ද එකවර කරමින් එම මිටියාවත්වල ස්ථීර වාසභුමි පිහිටුවා ගැනීමට පෙළඹුනහ.

දඩයම් යුගයේ මෙන් තැනින් තැනට යාමක් නොවූ නිසා බොහෝවිට පිරිසේ බොහෝ දෙනෙකුට කාලය ඉතිරිවිය. එසේ ඉතිරි වූ කාලය ප්‍රයෝජනයට ගෙන ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය උපකරණ වු නඟුල වැනි උපකරණ නිපදවීම මෙන්ම නොයෙකුත් කලාවන් ගැන ද උනන්දු විය. මෙසේ ක්‍රමයෙන් දියුණුවීමට පටන්ගත් මිනිසා උසස් ශිෂ්ටාචාර වලට හිමිකම් කියන්නට පටන් ගත්තේය.

දඩයම් යුගයේ හා එඬේර යුගයේ සිටි කුඩා පවුල් වෙනුවට ඔවුන් සාමුහික කණ්ඩායම් බවට පත්වීමත්, සමූහ වලට නායකයින් ඇති වීමත් සිදුවිය. එකමුතුව වැඩ කිරීම හා සම්පත් බෙදාගැනීම ගොවි යුගයේ මිනිසා හුරු කරගත් දැය. ගංගා නිම්න ආශ්‍රිත ශිෂ්ටාචාර බිහිවුයේ ගොවි යුගයේදීය.

(c) Shilpa Sayura Foundation 2006-2017