හින්දු බැතිමතුන් වන්දනාමාන කරන කෝවිලට අධිපති දෙවියන් උදෙසා වාර්ෂික තේරු උත්සවයක් පවත්වයි. එය ශිව, කතරගම, ගණ, පත්තිනි ආදී දෙවි වරුන් සඳහා වේ. එදිනට දෙවියන් පෙරහැරකින් වීති දිගේ වඩම්මා මග දිගට බැතිමතුන් විසින් පූජා පවත්වයි.
තම දොරටු දෙපස කෙසෙල් ගස් හිඳුවා, ගොක්කොල වලින් සරසන බැතිමතුන් පැණි මිශ්‍ර කිරි බත්, කැවිලි හා පළතුරු දෙවියන්ට පුදති. දේව රූපය මල්මාලා වලින් හා රන්මාලා සරසා ඇති අතර මිනිසුන් සෞභාග්‍යය පතා දෙවියන් වෙනුවෙන් පොල් ගසති. බිඳී යන පොල්ද , දෙවියන්ට පූජා කරන පැණි රසති කිරිබත්, කැවිලි හා පළතුරුද රැස්ව සිටින මිනිසුන් අනුභව කරති.
තේරු උත්සවයේදී දෙවියන් වැඩමවන්නේ ඒ සඳහාම විශේෂයෙන් සකසා සරසන ලද තේරු කරත්තයෙනි. එය මිනිසුන්, ගවයන් විසින් අදිනු ලබයි. මෑත කාලයේදී ඒ සඳහා ට්‍රැක්ටරයක් යොදා ගනී.
තේරු පෙරහැරේ කටු ගසාගත් මිනිසුන්, කොකු වලින් එල්ලූ මිනිසුන්ගේ අභිප්‍රාය තම සිරුරට දුක් දීමෙන් දෙවියන් කෙරෙහි භක්තිය පෙන්වීමය. තේරු පෙරහැරේ භාවිතා කරන වාද්‍ය භාණ්ඩ ඊටම විශේෂිතය. එම වාදන තාලයට කාවාඩි කරුවන් නටති. ඊට කාන්තාවන්ද එකතු වී සිටිති.

