2006 පෙබරවාරි 04 වැනි දිනට යෙදෙන 58 වැනි ජාතික නිදහස් සමරු උත්සව සභාව අමතා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මැතිතුමා විසින් ජාතිය අමතා කළ කතාව.
"අතිපූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි, සියලුම ආගම්වලට අයත් පැවිදි උතුමන්ගෙන් අවසරයි, ගරු අගමැතිතුමනි,
ගරු කථානායකතුමනි, අග විනිසුරුතුමනි, ඇමතිවරුනි, මන්ත්‍රීවරුනි, විදේශ රාජ්‍ය තාන්ත්‍රික සේවාවන් නියෝජනය කරන ගරු කටයුතු තානාපතිවරුනි, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ අධිපතිවරුනි, සාමාජිකවරුනි, සම්භාවනීය අමුත්තනි, මා හිතවත් සහෝදරවරුනි, සහෝදරයිනි,"
"වසර 28 කට පසුව ගාලු මුවදොර පිටියේදී අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 58 වැනි ජාතික නිදහස් සමරු දින මහෝත්සවය මේ ආකාරයට අභිමානයෙන් හා ගෞරවයෙන් යුතුව සංවිධානය කිරීම සම්බන්ධයෙන් අදාළ සියලු දෙනාටම මාගේ ස්‌තුතිය පුදකරන්නට කැමතියි. මේ අභිමානවත් උත්සවය මේ ආකාරයට පැවැත්වීමෙන් පළමුකොටම අපි බලාපොරොත්තු වන්නේ 1948 පෙබරවාරි 04 වැනිදා යටත්විජිතවාදී වියගසින් මිදී නිදහස් රාජ්‍යයක් බවට පත්වූ අපගේ ආදරණීය මාතෘභුමියට අපගේ උත්තමාචාරය පිරිනැමීමයි. දෙවනුව අපගේ අරමුණ වන්නේ ඒකී නිදහස ලබාගැනීම උදෙසා නන් අයුරින් කැපවූ අපේ අතීත ජාතික විරුවන්ට අපගේ උත්තමාචාරය පිරිනැමීමයි."
අප, ජාතියක් වශයෙන් අපටම අනන්‍ය ශිෂ්ඨාචාරයකට හිමිකම් කියන බව මා ඔබට අමුතුවෙන් පැවසිය යුතු නැහැ. මේ නිසාම ක්‍රි.පූ. 250 වැනි ඈත අතීතයේ දී සිටම විදේශ ආක්‍රමණිකයින්ගේ බලපෑමට රටක් වශයෙන් අප මුහුණ දුන්නා. අප රට අවුරුදු පන්සියයක් පමණ දීර්ඝ කාලයක් බටහිර ජාතීන්ගේ යටත් විජිතයක්‌ව පැවතුනා."
කෙසේ හෝ වේවා, ඉතා දිගු අරගල සහ කැපවීම් මෙන්ම දෑ හිතකාමි විරුවන්ගේ ජීවිත පරිත්‍යාගයන්හි අවසාන
ප්‍රතිපලය ලෙස 1948 දී අප නිදහස ලබාගත්තා. එහෙත් එය පරිපූර්ණ නිදහසක් ලෙස අර්ථ නිරූපනය වූයේ ගරු
සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුතු, මම ද ලාබාලම මන්ත්‍රීවරයා ලෙස දායකත්වය ලබාදුන් 1972 ජනරජ ව්‍යවස්‌ථාව යටතේ බව අප කිසිවකුත් අමතක නොකළ යුතුයි. නමුත් කිසියම් අවාසනාවකට පසුගිය කාලය පුරා ඒකී උතුම් ජනරජ දිනය සැමරීම අප සියලු දෙනා විසින් අමතක කර තිබෙනවා.
එය එසේ නොවිය යුතුයි. නිදහසින් පසු ගෙවීගිය කාලය ඇතුළත අපට අප සතු සියලු ශක්‌තීන් මුළුමනින්ම පණ ගන්වන්නට හැකි වූවා යැයි මා විශ්වාස කරන්නේ නැහැ. එහෙත් මම ආඩම්බරයෙන් කියන්නට ඕන, අපි කිසිම අවස්‌ථාවක අභියෝගයන්ට බයෙන් සැඟව ගියේ නැහැ. අපි සමඟි වූ සෑම අවස්‌ථාවකම ජයග්‍රහණය කරනු ලැබූ බවයි ඉතිහාසයේ සත්‍ය කතන්දරය. අප ස්‌වභාවයෙන්ම සාමකාමි ජාතියක්. බෞද්ධ ආගමත්, හින්දු ආගමත් මෙන්ම අනෙක් සියලුම ආගම්වලින් අපගේ ජීවන සංස්‌කෘතිය පෝෂණය කරනු ලැබුවා. එහෙත් අභියෝගයන්ට මුහුණදීමේදී අපි ඒවාට එඩිතරව මුහුණ දුන්නා."
දීර්ඝ කාලයකින් පසු නිදහස ලබන විට අපේ රට ඇතුලු සෑම යටත්විජිත රටක්‌ම නිදහස ලැබුවේ එක සමාන වූ සමාජ,
ආර්ථික, දේශපාලන අභියෝගයන් රැසක් ඉදිරියේ තබාගෙනයි. මේ සෑම රටකම නිදහස ලබාගැනීම සඳහා නන් අයුරින් කැපවූ, නන් අයුරින් සටන් කළ ඒ ජාතික විරුවන්ගේ, ජනතා නායකයන්ගේ හා පුරෝගාමීන්ගේ පරම අභිලාෂය වූයේ සකල ආකාර පරාධීනත්වයෙන් මිදුනාවූ අභිමානවත් නිදහස් පුරවැසියකුද එවන් පුරවැසියන්ගෙන් හෙබි රාජ්‍යයක් ද ගොඩනගා ගැනීමයි. නිදහස් රටක් හා නිදහස් ජාතියක් වශයෙන් අද අප භුක්‌ති විඳින්නා වූ යම් නිදහසක් ඇත්නම් එහි ගෞරවය හිමිවන්නේ අපට නිදහස උරුමකර දීම සඳහා දිවිහිමියෙන් කැපවූ ඒ ශ්‍රේෂ්ඨ විරුවන්ටයි. එම නිසා ඔවුන් මේ අවස්‌ථාවේ සිහිපත් කිරීම අපගේ මහගු යුතුකමක් ලෙස මා සලකනවා."
දහනව වන ශතවර්ෂය අගභාගයේත්, විසිවන ශතවර්ෂය මුල්භාගයේත් අප රටට ජාතික නිදහස ලබාදීම සඳහා නිදහස්
ව්‍යාපාරයක් පැනනැගුනා. එම ජාතික නිදහස් ව්‍යාපාරයේ ස්‌වරූප ගණනාවක් තිබුණා. ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණ ව්‍යාපාරයක් වශයෙන් එය මේ රටට නව නිදහස් රාජ්‍යක් හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුක්‍රමයක් ගොඩනගා ගැනීම පිළිබඳ සටනක් ගෙනගියා. කිසිදු ජාති, ආගම් හෝ දේශපාලන බේදයකින් තොරව අපේ ජාතික නායකයින් ගණනාවක්‌ම මේ ව්‍යාපාරය තුළ ජාතික නිදහස ලබාගැනීම වෙනුවෙන් කටයුතු කළා. අනෙක් අතට ආගමික පුනර්ජීවන ව්‍යාපාරයක් ලෙස ද ජාතික නිදහස් ව්‍යාපාරය මතුවුණා.
අපේ ජාතික විරුවන් සිංහල, දෙමළ, මුස්‌ලිම් ආදී අපේ රටේ සියලු ආගම්වලට අයත් ජනතාවගේ සිත් සතන් තුළ උදාර ජාතික හැඟීම් ද, දේශප්‍රේමී හැඟීම් ද, ඒ වගේම සාමකාමි සහජීවනය පිළිබඳ උතුම් ආගමික හර පද්ධතීන් ද රෝපණය කිරීමට වෙරදැරුවා. වඩා යුක්‌තිසහගත සාධාරණ සමාජයක් බිහිකිරීම උදෙසා ලංකාවේ වාමාංශික ව්‍යාපාරය, කම්කරු ව්‍යාපාරය හා සූරියමල් ව්‍යාපාරය ගෙනගිය සටන් ජාතික නිදහස් ව්‍යාපාරය සමඟ එකතු වුණා.
භාෂා සාහිත්‍යය හා සංස්‌කෘතික අංශයෙන් ගත් කළත් නව නිදහස් රාජ්‍යයක් ගොඩනැගීම උදෙසා උදාර හැඟීම් පෙරදැරි කරගනිමින් කටයුතු කළ විරුවන් රැසක් අපේ මතකයේ චිරාත් කාලයක් රැඳී තිබෙනවා. කොළඹ යුගයේ කවීන්, ඇතුලු සමාජය ඉදිරිගාමීව මෙහෙයවන්නට දායක වුණු ප්‍රබුද්ධයින් රැසක් මට මේ අවස්‌ථාවේ සිහිපත් වෙනවා. ඒ වගේම රටේ ජාතික නිදහස ප්‍රාර්ථනා කරමින් ප්‍රසිද්ධියේ ඒ උදෙසා විවිධ පෙරමුණු වල වැඩකළ විශාල පිරිසක් ඔබේත්, අපේත් මවීපිය පරම්පරාවේ සිටි බව අපි දන්නවා. මේ සියලු දෙනාටම සමස්‌ථ ජාතියේ උත්තමාචාරය අපි මේ අභිමානවත් උළෙළේදී පුදකර සිටිය යුතුයි."
මිත්‍රවරුනි, නිදහසින් අපේ රට ලැබූ ජයග්‍රහණ බොහොමයි. ඒවා අප අවතක්‌සේරු කළයුතු නැහැ. 1948 නිදහසත් සමඟ ශ්‍රී ලංකාවේ බිහිවුණේ සර්වජන ඡන්ද බලය ඇති ජනතා පරමාධිපත්‍ය මූලික කොටගත් නිදහස් ්‍රජාතන්ත්‍රවාදී
රාජ්‍යයක්. කවර අඩුපාඩුකම් තිබුණද අඩසිය වසකටත් වඩා වැඩි කාලයක් තිස්‌සේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් පවත්වාගෙන යාමට හැකිවීම ශ්‍රී ලාංකික අප ලැබූ ජයග්‍රහණයක්. අපේ අධ්‍යාපන ක්‍රමය සාර්ථක වූ නිසා ඉහළ ාක්‌ෂරතා සමාජයක් ගොඩනගා ගැනීමට අපට හැකිවී තිබෙනවා.
අපේ සෞඛ්‍ය ක්‍රමය දියුණු වූ නිසා සමාජයක් හැටියට අප ලැබූ ජයග්‍රහණ බොහොමයි. යම් යම් දේශපාලන අභියෝග නිසා ගැලු ඇතිවී තිබුණත් අපේ රටේ සියලු ජන කොටස් අතර ජාතික, ආගමික සහජීවනය ඉහළ ආකාරයකින් ආරක්‌ෂා වී තිබෙනවා. අප මේ නිදහස් උත්සවය පවත්වන කොළඹ නගරයම එයට හොද නිදසුනක්.
එහෙත් මිත්‍රවරුනි, රටක් පරාධීනත්වයෙන් ගැලවෙනවා කියන්නේ හුදෙක් යටත්විජිත භාවයෙන් නිදහස් වීම පමණක් නොවෙයි. පුරවැසියාගේ ජීවිතය සෑම ආකාරයකම පරාධීන භාවයන්ගෙන් මිදිය යුතුයි. රාජ්‍ය සෑම ආකාරයකම පරාධීන භාවයන්ගෙන් මිදී නිදහස් රාජ්‍යයක් විය යුතුයි. මේ කරුණු සලකා බලන කළ අපට විසඳාගත යුතු අභියෝග රැසක් තිබෙන බව මා මේ අවස්‌ථාවේදී සඳහන් කරන්න කැමතියි."
ඉන් ප්‍රධාන අභියෝගය වන්නේ වසර ගණනාවක් පුරා උතුරු නැගෙනහිර නොවිසඳී පවතින ජාතික අර්බුදයට විසදුමක්
සොයා ගනිමින් තිරසාර සාමයක් උදාකර ගැනීමයි. අපේ ආර්ථිකය ශක්‌තිමත් කිරීම දේශපාලන ස්‌ථාවරභාවය ඇතිකිරීම, අපේ මානව සම්පත සතු හැකියාවන් වැඩිදියුණු කර ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් මනා ලෙස යොදවා ගැනීම ආදී තවත් අභියෝග රැසක් අප ඉදිරිපිට පවතිනවා. මේ සෑම අභියෝගයකටම සාර්ථකව මුහුණ දී රටට ජයග්‍රහණය දිනා දියහැකි බව මම දැඩිව විශ්වාස කරනවා.
ඒත් ඒ සඳහා එක පූර්ව කොන්දෙසියක් සැපිරිය යුතුව තිබෙනවා. ඒ කොන්දේසිය නම්, මේ උත්තම පරමාර්ථ යනුවෙන් අප සමඟි විය යුතුයි යන්නයි. පසුගිය කාලය පුරා රටට සාමය උදාකර ගැනීම සඳහා ගත් උත්සාහයන් ගණනාවක් අසාර්ථක වීද තිබෙනවා. නමුත් අතීතයට දොස් පැවරීමෙන් කිසිදු සෙතක් අත්වන්නේ නැහැ. අපි අතීතය අමතක කළ යුතු නැහැ. අතීතයෙන් පාඩම් ඉගෙන ගත යුතුයි. ඒ අනුව, රටේ සියලු ජන කොටස් සංවර්ධනය ක්‍රියාවලියට හා රාජ්‍ය පාලනයට සහභාගි වියහැක් රාජ්‍ය ව්‍යුහයක් අප විසින් සාදාගත යුතුව තිබෙනවා."
පසුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ අතිශය බහුතර ජනතාවක් සියලුම ජනකොටස් වල අභිලාෂයන් සැලකිල්ලට ගනිමින් දකුණේ සියලු දේශපාලන බලවේග අතර පොදු එකඟතාවක් ඇතිකර ගැනීමේ ක්‍රියාමාර්ගය අනුමත කළා.
එම යෝජනාව දැන් අප ක්‍රියාත්මක කරමින් සිටිනවා. තව නොබෝ දිනකින් අපේ රජය එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සාකච්ඡා අරඹනවා. දකුණේ සාකච්ඡා ක්‍රියාවලිය පක්‌ෂ සමඟ වෙන් වෙන්වත් සර්වපාක්‌ෂික සමුළුවෙනුත් අපි පසුගියදා
පටන්ගත්තා. එය ඉතාම සාර්ථක බව ඔබ සැම දැනටමත් දන්නවා. මා එහි ගෞරවය තනිවම භුක්‌ති විඳින්නට තරම් දේශපාලන ආත්මාර්ථකාමියෙක් නොවෙයි. අනිවාර්යයෙන්ම, ආණ්‌ඩුවේ මෙන්ම විපක්‌ෂයේ සියලුම පක්‌ෂ අතර එම ගෞරවය සමසේ බෙදී යා යුතුයි."
මේ ක්‍රියාමාර්ගය ඉදිරියට යන්නේ අතීතයේ සිදුවූ වැරදි හා නොමගයෑම් වලින් ඉගෙනගත යුතු පාඩම් මනාව වටහාගනිමින් බව මම පවසන්න කැමතියි. මේ රට, මේ රටේ වෙසෙන සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර් ආදී සියලුම පුරවැසියන්ට අයිති රටක්. මේ රට බෙදීමෙන් මේ ගැටලුව විසඳන්න බැහැ. එයින් වෙන්නේ එය තවත් උග්‍ර වීම පමණයි. අලුත් ශ්‍රී ලංකාවක් යන තේමා පාඨය අප ඉදිරිපත් කළේ ඒ නිසයි. එය පසුගිය ජනාධිපතිවරණයේදී දේශපාලන තේමා පාඨයක් වුනත් දැන් එය රටේ ජාතික තේමා පාඨය බවට පත්විය යුතුයි. සියලු
පරාධීනතාවන්ගෙන් ගැලවී අලුත් නිදහස් රාජ්‍යයක් ගොඩනඟන්නට නම් අපේ සිතුම් පැතුම් අලුත් විය යුතුයි.
අපේ එළැඹුම අලුත් විය යුතුයි. අප වැඩකරනා ආකාරය අලුත් විය යුතුයි.
ගෞරවනීය මිත්‍රවරුනි, යුද්ධයකදී වැඩි වැඩියෙන් ගලායන රුධිරය වැළැක්‌වීමට නම් අපි සාමය වෙනුවෙන් වැඩි
වැඩියෙන් දහදිය හෙළිය යුතු බව අද මේ උතුම් දිනයේදී අප සිත්හි අවධාරණය කරගත යුතුයි."
අලුත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අපි අරඹන සාම ක්‍රියාවලිය පැහැදිලිවම විනිවිඳ පෙනෙන ක්‍රියාවලියක්. එහි
හංගන්නට කිසිවක් නැහැ. අපි විසඳුමක් බලහත්කාරයෙන් පැලපදියම් කරන්නට සැරසෙන්නේ නැහැ. ඒ වාගේම
කිසිවකුට තර්ජනයෙන් අප බිය වද්දනටත් බැහැ. පළල් වූ ද, ගැඹුරු වූ ද, දේශපාලන සාකච්ඡාවක් තුළින් ඇතිකර
ගන්නා විසඳුමක් රටේ ජාතික සම්මුතියක් ලෙස තහවුරු කිරීම අපගේ අරමුණයි. එම නිසා මේ අභිමානවත් උත්තරීතර
අවස්‌ථාවේ මා මේ රටේ ප්‍රධාන විපක්‌ෂය ඇතුලු සියලුම දේශපාලන පක්‌ෂ වලින් හා බලවේග වලින් අපට
සහයෝගය ලබාදෙන ලෙස විවෘත හා අවංක ඉල්ලීමක් කරන්න කැමතියි. පටු වාද බේද පසෙක තබා අඩසිය වසක් තිස්‌සේ අපට විසඳාගත නොහැකි වූ මේ ප්‍රධාන අභියෝගය ජයගැනීම සඳහා එක්‌සත්ව, එක්‌සිත්ව එක්‌වන ලෙස මා සියලු දෙනාටම ආරාධනා කරන්නේ ජාතික න්‍යාය පත්‍රයේ අන් සෑම කරුණකටම වඩා "රට" ඉදිරියෙන් තැබිය යුතු බැවිනුයි."
රටේ සියලු ජන කොටස්‌වලට ආර්ථිකයේ ප්‍රතිලාභ හිමිවන පරිදි රටේ ආර්ථිකය හැසිරවීමටත්, නීතියේ පාලනය උපරිම ලෙස ආරක්‌ෂා කරමින් නීතිගරුක, විනයහරුක සමාජයක් බිහිකිරීමටත් අපේ දරුවන් සඳහා උචිත හොඳ රටක් ගොඩනැගීම යන කරුණුවලට මේ සමඟම අපේ ප්‍රමුඛතාව අපි ලබාදී තිබෙනවා. මත් උවදුරින් අපේ අනාගත පරම්පරාව බේරා ගැනීමේ සංග්‍රාමය "මතට තිත" යනුවෙන් නම් කොට, මේ වන විටත් මා ක්‍රියාත්මක කොට තිබෙනවා. ශීලාචාර, විනයගරුක ශ්‍රී ලාංකික සමාජයක් සඳහා ඕනෑම පියවරක් ගැනීමට අවශ්‍ය ධෛර්යය සම්පන්නභාවය මට තිබෙනවා, මගේ රජයට තිබෙනවා. අතමිට මුදල් යහමින් ගැවසෙන පුද්ගලයින්ට අවශ්‍ය පරිදි රටේ නීතිය හා සාමය ක්‍රියාත්මක කරනු ලබන ආයතන හැසිරවීමේ ජනප්‍රිය සම්ප්‍රදායට මේ රටේ අනාගතය වෙනුවෙන් අභියෝග කරන්නට මා සූදානම්. එලෙසින්ම රටේ උතුරේ දී වේවා දකුණේ දී වේවා මානව හිමිකම් ක්‍ෂේත්‍රයේ උපරිම සීමාවන් ආරක්‌ෂා කිරීම වෙනුවෙන් මා කැපවී කටයුතු කරන බව ඔබට පවසන්නේ වසර තිස් පහකට වැඩි මානව හිමිකම් ක්‍ෂේත්‍රයේ මා පෞද්ගලිකවම කළ කැප කිරීම් ද සිහිපත් කරවමිනුයි."
ලෝකය පුරා සිටින ශ්‍රී ලංකාවේ මිතුරන්ගෙන් හා මිතුරු රාජ්‍යයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ අවුරුදු දහස් ගණනක ඉපැරණි ආසියානු ශිෂ්ඨාචාරයක සංස්‌කෘතික උරුමයන් සහිත ජනතාවක් වෙසෙන ඉන්දියානු සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව නම් මේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ සාමය හා අභිවෘද්ධිය උදෙසා අපට සහයෝගය ලබාදෙන ලෙසයි."
යුද්ධයෙන් ද, සුනාමි විපතින් ද බිඳවැටුනු ජන ජීවිතය ගොඩනැඟීම සඳහා සාම ක්‍රියාදාමයට සමාන්තරව ගෙන
යන්නා වූ සංවර්ධන වැඩ පිළිවෙළක් අපි ආරම්භ කර තිබෙනවා. ජාතීන් අතර සුහදතාව හා විශ්වාසය ගොඩනැගීමේ නව ජාතික ඒකාබද්ධතා වැඩසටහන් ඇරඹීමට අපි මේ වසරේ බලාපොරොත්තු වෙනවා."
මිත්‍රවරුනි, යහපත් පාලනය, වගකීම් සහගත පාලනය, නීතියේ පාලනය සහ ධාර්මික පාලනය මාගේ රජයේ පාලන ධර්මතාවයි. නිදහස ලබා අඩසිය වසකටත් වඩා කලක් ගත වී ඇති අප රටේ අප මුහුණ දී තිබෙන බරපතල අභියෝග ජයගැනීම සඳහා මුලින්ම වැදගත් වන්නේ එවන් ධර්මතාවක් මත පාලන තන්ත්‍රය පිහිටුවීම යැයි මා විශ්වාස කරනවා. ඒ වගේම පටු වාද බේද දුරලා රටේ පොදු අභිවෘද්ධිය උදෙසා වැඩ කරන්නට හැකියාවක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.
මේ අභිමානවත් මොහොතේ නව නිදහස් අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා එකම සහෝදර බැම්මෙන් බැදුනු පුරවැසි ප්‍රජාවක් ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව මා ඔබ හමුවේ නැවත අවධාරණය කර සිටිනවා."
ගුවනේ ළෙලදෙන අප ජාතික කොඩියට දසත සිසාරා නැගෙන අපගේ ජාතික ගීයට සත්‍යවශයෙන්ම අභිමානය උරුමකර දිය හැක්‌කේ අපටයි. මේ අභියෝගය අපේ ඊළඟ පරම්පරාවට බාරදීමට මා සූදානම් නෑ. කොතරම් දුෂ්කර වුවත්, කවර අයුරින් හෝ මේ ප්‍රධාන අභියෝග වෙත මුහුණ දී ඒවා ජයගනු ලැබිය යුතුමයි.
ඔව්! මා ඒ කාර්යය නිසැකවම ඉටුකරනවා. මේ පින්බිමට අවංකවම ආදරය කරන දයාබර මගේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඒ සඳහා අවශ්‍ය ශක්‌තිය උපරිමයෙන් ලබාදෙන ලෙසයි."
"නිදහස" යනු ජාතියක ඉදිරි ජයග්‍රහණයන්ගේ මාවතයි. "නිදහස" යනු ලබාගෙන ඇති ජයග්‍රහණ රැකබලා ආරක්‌ෂා කර ගැනීමයි. ඉතින්, නිදහස නැමැති මාවතේ, දැයේ ඉදිරි ජයග්‍රහණ වෙනුවෙන් අපි එක්‌ව ක්‍රියාත්මක වෙමු! කැපවෙමු! ජය ගනිමු! අප උතුම් මාතෘ භුමියට උරුම ජයග්‍රහණ අපේ දෑතින්ම හිමිකර දෙමු. ඔබ සැමට සුභ අනාගතයක් වේවා!"
"තෙරුවන් සරණයි!
සියලු දෙවි පිහිටයි!"
Photos : http://www.kaputa.com/freedom2006