1 වන බුවනෙකබාහු රජතුමා යාපහුවේ රජවීම.
මෙකල සිංහල රජවරුන් විදේශ හමුදාවක් තබා ගැනීමට පුරුදු ව සිටියේ දේශීය හමුදා නායකයන් බලවත් වීමෙන් එල්ලවන තර්ජන වලට මුහුණඳීම සඳහාය. දඹදෙණියේ රජවරුන්ට ඉතා භක්‌තිමත්ව සේවය කළ "රාජ්පුට්" (උතුරු ඉන්දියානු) සේනාවක්‌ද විය. මොවුන් ප්‍රතිපත්ති ගරුක පිරිසක් ලෙස රජවරුන්ගේ ප්‍රසාදය දිනාගෙන සිටි පිරිසකි.
බෝසත් විජයබාහු රජු මැරවීම නිසා රාජ්පුට් සේනාව "මිත්ත" සෙනෙවියා කෙරෙහි කලකිරී සිටියහ. තාන්න මාන්න දී ඔවුන් තමා වෙත පක්‌ෂපාතී කරවා ගැනීම සඳහා මිත්ත විසින් රාජ්ජුට් සේනාවේ සෙන්පති වූ "ඨකුර" රජ මාලිගයට කැඳවන ලඳී. මේ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත් ඨකුර තම සේනාව මෙහෙවයා මිත්තා සෙනෙවියා අල්ලාගෙන ඔහුගේ හිස ගසා දමා මරණයට පත් කළේ ය. අනතුරුව යාපහුවේ ආරක්‌ෂාව ලබමින් සිටි බුවනෙකබාහු, දඹදෙණියට කැඳවාගෙන විත් ඔහුට රජකම ලබා දුන්නේය.
පළමුවන බුවනෙකබාහු නමින් අභිෂේක ලැබූ මේ රජතුමා තම පාලන මධ්‍යස්‌ථානය ලෙස තෝරා ගත්තේ යාපහුවයි. තියුණු බෑවුමකින් යුක්‌ත උස් පර්වතයක් ආශ්‍රිතව පිහිටි මෙම ස්‌ථානයේ සිට සැතපුම් ගණනාවක් ඈතින් එන සතුරන් වුවද දැක බලාගත හැකි වූ නිසා ආරක්‌ෂිත ස්‌ථානයක් විය.
බුවනෙකබාහු රජුට විරුද්ධවාඳීන් රැසක් සිටි බව මූලාශ්‍ර අනුව පැහැදිලි වේ. මිත්ත සෙනෙවියාගෙන් තාන්න මාන්න ලැබූ වන්නි පාලකයන් ඉන් එක් කොටසකි. කදලීවාට, මාපාණ, තිප, හිමියානක යන වන්නි පාලකයන්ගෙන් කිහිප දෙනෙකු බුවනෙකබාහු රජුට විරුද්ධව කැරලි ගැසූ බව මූලාශ්‍ර වල සඳහන්ය. මේ අතරම විදේශ ආක්‍රමණ කීපයක් යාපහුවට එල්ල විය. කාලිංග රායර හා චෝඩගංග දේව යන පාණ්‌ඩ්‍ය සෙන්පතියින් යටතේ එල්ල වූ මේ ආක්‍රමණයන් සහ වන්නියර් වරුන්ගේ කැරලිද සාර්ථක ලෙස මර්ධනය කිරමට 1 වන බුවනෙකබාහු රජුට හැකිවිය.
වසර 12 ක්‌වූ මේ රජුගේ පාලන සමය අවුල් වියවුල් වලින් ගහන විය. එසේ වුවද වාර්ෂික උපසම්පදා උත්සව ආදිය පවත්වමින් බුද්ධ ශාසනයේ උන්නතියටද කටයුතු රැසක් ඉටු කළ බව වංශ කතාවේ සඳහන් වේ.
මෙකල අරාබි වෙළෙන්දන් ලංකාවේ බටහිර තොටුපල් ආශ්‍රිතව කළ වෙළඳාමෙන් විශාල ආදායමක් ලැබූ බැවින් ඊජිප්පතුවේ සුල්තාන්වරයා සමඟ එක එල්ලේම රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කරගෙන වෙළඳ කටයුතකු දියුණු කිරීමටත් එමගින් වෙළඳාමේ වැඩි වාසිය තමාට ලබා ගැනීමත් බුවනෙකබාහු රජතකුමා කටයුතු කළේ ය.
