2 වන පරාක්‍රමබාහු රජතුමා ක්‍රි. ව. 1236 - 1270
 

2 වන පරාක්‍රමබාහු රජතුමා 3 වන විජයබාහු රජුගේ පුත්‍රයා වූ අතර පියාගෙන් පසුව දඹදෙණියේ රජවිය. මෙතුමා කාලිංග මාඝ පොළොන්නරුවෙන් නෙරපා දැමීම සඳහා යුද්ධ හමුදාව තර කළේ ය. බෙලිගල තිබුණු දන්ත ධාතකුව හා පාත්‍රා ධාතුව දඹදෙණියට වැඩමවා විසිතුරු දළදා මාළිගාවක ඒවා තැන්පත් කළේ ය. ඉන්පසු මහා සංඝයා වහන්සේ හා මහජනතාවද සහභාගී කරවාගෙන උත්කර්ෂවත් දළදා පූජාවක්‌ ද පැවැත්වීය. එම උත්සවයේදී කාලිංග මාඝගෙන් රට බේරාගන්නා බවට ප්‍රතිඥාවක්‌ දුන්නේ ය.

ඒ අනුව රජතුමාට ජනතා සහාය උපරිම මට්‌ටමෙක්‌ ලබාගත හැකි විය. සංඝයා වහන්සේලාගේ මැදිහත්වමෙන් වන්නි පාලකයන්ද තමාට පක්‌ෂපාත කරගැනීමට හෙතෙම සමත් විය. මේ කාලයේ කාලිංග මාඝ දකකුණු ඉන්දියාවෙන් ගෙන්වා ගත් කුලී හේවායන් දහස්‌ ගණනක්‌ යොදාගෙන ත්‍රිකුණාමලය, කොට්‌ටියාර්, මහාතිත්ථ, ඌරාතොට යන වරායන්වල හා කන්තලේ පොළොන්නරුව හා යෝධ වැව යන බලකොටුවල ආරක්‌ෂාව තරකොට සටනට සූදානම් විය.

පරාක්‍රමබාහු රජු තම සොයුරු බුවනෙකබාහුට යුවරජ පදවිය දී කුරුණෑගල ප්‍රදේශයේ පාලනය භාර කළේය. ඔහුගේ බෑණා වූ වරබාහුට හමුදා අංශය භාර කළේය.

 

1247 වර්ෂයේඳී නොසිතු විරූ ආක්‍රමණයකට මුහුණ දීමට පරාක්‍රමබාහු රජුට සිදුවිය. මලය අර්ධද්වපයේ තාමුලිංගයේ සිට පැමිණි චන්ද්‍රභාණු නමැති ජාවක රජු ලංකාව ආක්‍රමණය කිරීම එම සිදුවීමයි. මේ අවස්‌ථාවේ වරබාහු කුමාරයා බල සේනාවක්‌ රැගෙන ගොස්‌ චන්ද්‍රභාණු පරාජය කොට පන්නා දැමීය. ඉන්පසු වරබාහු දෙවුන්දර උපුල්වන් දෙවියන්ට පූජාවක්‌ පැවැත්වූ බව මූලාශ්‍රවල සඳහන්ව තිබීමෙන් පෙනී යන්නේ ජාවක ආක්‍රමණය ලංකාවේ දෙවුන්දර ආශ්‍රිත දකුණු ප්‍රදේශයට එල්ල වූවක්‌ බවයි.

(c) Shilpa Sayura Foundation 2006-2017