තුන්වන විජයබාහු ක්‍රි. ව. 1232 - 1236
 


කාලිංග මාඝ පොළොන්නරුව පාලනය කරන කාලයේ සිංහල ප්‍රධානීන් හතර දෙනා අතරින් දඹදෙණියේ විජයබාහු කුමාරයා තරුණ කාලයේ වන්නි ප්‍රභූවරයෙකු ලෙස කටයුතු කළ බව පෙනේ. සාහිත්‍ය මූලාශ්‍රවල ඔහු හැඳින්වීමට "වන්නි නිරිඳු" යන නම භාවිත කොට ඇත. මොහුගේ පියා (විජය මල්ල) කාලිංග වංශිකයෙකු බව රාජ රත්නාකරයෙහි සඳහන් කොට ඇත. මූලාශ්‍රවල මෙතකුමා පාණ්‌ඩ්‍ය වංශයට අයත් බව සඳහන් ව ඇත. ශ්‍රි ලංකාවේ රජු වශයෙන් දඹදෙණියේ අභිෂේක ලැබීමට පෙර එතුමා විසින් ඉටුකරන ලද කාර්යයන් කිහිහිපයක්ම විය.

1. වන්නි නායකවරු තමාට පක්‌ෂපාත කරවා ගැනීම.
2. ශක්‌තිමත් සිංහල හමුදාවක්‌ ගොඩනඩා ගැනීම.
3. කාලිංග මාඝ විසින් මායා රටේ හෙවත් දක්‌ඛිණ දේශයේ තැන් තැන්වල රඳවා තිබුණු ද්‍රවිඩ හමුදා සමඟ සටන් කොට ඔවුන් සියල්ල මායා රටින් නෙරපා දැමීම.
4. එකල සංඝනායක පදවිය දැරූ සංඝරක්‌ඛිත මාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දිවයිනේ සියලුම ග්‍රාමවාසී හා වනවාසී භික්‌ෂුන් එක්‌කොට මහා සංඝ සම්මේලනයක්‌ පැවැත්වීම.
5. එම සම්මේලනයේඳී හෙළිවූ තොරතුරු අනුව කොත්මලේ සඟවා තිබූ දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව දඹදෙණියේ බෙලිගලට වැඩම කරවීම.
6. බෙලිගල දළදා මැදුරක්‌ ඉදිකොට එම පූජනීය වස්‌තූන් එහි තැන්පත් කරවීම.

දඹදෙණියේ දළදා මාලිගාව


චිරාගත පිළිගැනීම අනුව දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව හිමිකරු වීමේන් රට පාලනය කිරමේ නීත්‍යානුකූල අයිතිය ලබාගත හැකිවේ. මේ සියලු කටයුතු වලින් පසු ඔහු 1232 දී 3 වන විජයබාහු නමින් දඹදෙණියේ දී අභිෂේක ලැබීය. වත්හිමි, විජයබා, කැම්බඹර යන නම් වලින්ද මේ රජතුමා හඳුන්වා ඇත.  විජයබාහු රජතුමා රජවීම ස්වදේශිකයින්ගේ ජාත්‍යානුරාගය වැඩීමට හේතු විය. කාලිංග මාඝ නෙරපා රට නිදහස් කර ගැනීම සඳහා මූලික අඩිතාලම යෙදීම 3 වන විභබාහු රජ වීම සමග සිදුවිය. ප්‍රදේශීය පාලනය ශක්තිමත් වීම හා ප්‍රාදේශීය පාලකයින් සමගි වීමද ඇරඹුණි.

වසර 4 කට සීමා වූ ඔහුගේ කෙටි රාජ්‍ය කාලය තුළ කරන ලද සේවාවන් රැසකි.
1. දඹදෙණියේ විජය සුන්දරාරාමය හා වත්තල විජයබා විහාරය ඉදිකරවීම.
2. තොටගමුවේ විජයබා පිරිවෙණ, කැළණි විහාරය, සහ නටබුන් වූ වෙහෙර විහාර රැසක්‌ද ප්‍රතිසංස්‌කරණය කරවීම.
3. භික්‌ෂූ විනය සංරක්‌ෂණය කිරීම සඳහා කතිකාවතක්‌ පිළියෙල කිරිම හා ත්‍රිපිටක ධර්ම පුස්‌කොළ පොත්වල ලියවා තැබීම.
4. තම වැඩිමහල් පුත් කුමරා වූ පරාක්‍රමබාහු සංඝරක්‌ඛිත හිමියන්ට භාර කොට රජකම පවරාදීම.

 

බෙලිගල කන්ද

(c) Shilpa Sayura Foundation 2006-2017