උතුරු ආර්ය චක්‍රවර්ති බලය ඇතිවීම ක්‍රි. ව. 1291
 

යාපනේ ප්‍රාදේශීය පාලකයෝ
මහා වංශයෙහි නාගඳීපය ලෙස දැක්‌වෙන වර්තමාන යාපනය අර්ධද්වපයේ ක්‍රි. පූ. 6 වන සියවස තරම් ඈත කාලයේ "නාග" ගෝත්‍රිකයන් වාසය කළ බව බෞද්ධ සාහිත්‍යයෙන් සනාථ වේ. යාපනයේ සිටි "නාග'' ගෝත්‍රිකයන් මෙන්ම කැලණියෙන්ද, නාග ගෝත්‍රික ජන කණ්‌ඩායමක්‌ සිටි බව මහාවංශයේ සඳහන් වෙයි.

 

මොවුන් ස්‌වදේශික ජන කණ්‌ඩායමක්‌ ලෙස නිගමනය කිරීමට ඇති සාධක මෙන්ම ඉන්දියාවෙන් මෙරටට වෙළදාම සඳහා පැමිණි උතුරු ඉන්දියාවේ ප්‍රචලිතව සිටි නාග ගෝත්‍රික ජන කණ්‌ඩායමක්‌ ලෙස නිගමනය කිරීමටද සාක්‌ෂි ඇත.

එසේ නම් විජය පැමිණීමට බොහෝ කලකට පෙර ඉන්දියානු ජනයා වෙළදාම සඳහා මෙහි පැමිණ ජනාවාස පිහිටුවා ගෙන ජීවත් වූ බව සිතීමට පුළුවන. "නාග" ගෝත්‍රිකයන් ධනවත් පිරිසකි.

මැණික්‌ පුටු ඔවුන් සතුව තිබුණු බව මහා වංශ පුවතින් ද හෙළි වේ. නාගයන් හා මැණික් අතර දැඩි සම්බන්ධයක්‌ ඇති බව ජන වහරේ එන කතා ප්‍රවෘත්ති වලින්ද හෙළිවේ. "මහ කෙළ" නම් නාගයෙකු ගැන බෞද්ධ සාහිත්‍යයේ එයි. "කෙළ" යනු කෝටිය හැඳින්වමට භාවිත වූ නමකි. "කෙළ කෝටි" ගණන් වස්‌තකුව, අසූ කෙළක්‌ ධනය ආදී යෙදුම්වලින් එය පැහැදිලිය.

කැලණියේ සිටි ප්‍රාදේශීය නායකයා "මණි අක්‌ඛිත" වේ. නාග ගෝත්‍රිකයන් විදේශ වෙළෙන්දන් සමඟ වෙළඳාම් කළ බවත් ඒ මගින් ඔවුන් ධනවතකුන් වූ බවත් සිතිය හැකිය. කල්යත්ම මේ අය රට මැදද සමහර ස්‌ථානවල ද පදිංචි වූහ. වෙළදාම සඳහා භාණ්‌ඩ එක්‌රැස්‌ කිරමේ කාර්යය ඔවුන් විසින් කරන ලද බව සිතීමට පුළුවන.

අනුරාධපුර යුගයේ දී යාපනය ප්‍රදේශය රජරට පාලනය යටතේ පැවතුණි. යාපනේ උතුරු වෙරළේ පිහිටි දඹකොළ පටුන වරාය අනුරාධපුරය සමඟ ගොඩබිම් මාර්ගයකින් සම්බන්ධ ව තිබුණි. දේවානම් පියතිස්‌ස රාජ්‍ය සමයේ ලංකාව හා ඉන්දියාව අතර බෞද්ධ සංස්‌කෘතික සබඳතා රැසක්‌ පවත්වන ලද්දේ දඹකොළ පටුන වරාය හරහාය.

ලංකාව බෞද්ධ රටක්‌ වීමෙන් පසුව එහි උතුරු කෙළවරේ සිට දකුණු කෙළවර දක්‌වා බෞද්ධ සංස්‌කෘතිය පැතිර ගිය අතර යාපනය අර්ධද්වපයේ වෙහෙර විහාර රාශියක්‌ද ඉදිවිය. කදුරුගොඩ (වර්තමාන කණ්‌ඩදෝර්) විහාරය මේ සඳහා හොඳම නිදසුනකි. එය ඉදිව ඇත්තේ ක්‍රී.පූ. දෙවන සියවසේ (අනුරාධපුර යුගයේ මුල් කාලයේ) ය. එම විහාරය භික්‌ෂූ මධ්‍යස්‌ථානයක්‌ ලෙස පැවති බවට සාධක ඇත.

ක්‍රි. ව. 1214 දි පොළොන්නරුවට එල්ල වූ කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසුව රාජ්‍ය පාලනයේ කේන්ද්‍රස්‌ථානය නිරිතදිගට මාරුවී නිසා යාපනය ප්‍රදේශය තුල ස්‌වාධීන පාලන ඒකකයක්‌ ගොඩනැඟීමට තිබුණු ඉඩකඩ වැඩිවිය. කාලිංග මාඝ කෲර පාලකයෙක්‌ වුවද ඔහු බෞද්ධාගමිකයෙකි. කාලිංග මාඝ පොළොන්නරුවේ සිටින අතර ඔහුගේ පුතා වූ ගණ්‌ඩ ගෝපාල නැමැත්තා යාපනය යටත් කළ බව මැදිරිගිරියේ හා අභයගිරියේ ඇති සෙල් ලිපිවල සඳහන් වේ. මේ අනුව යාපනය යටත් කිරීමට සිදුවූයේ එම ප්‍රදේශයේ එතෙක්‌ පැවතියේ සිංහල පාලනයක්‌ නිසාය. මෙම යටත් කිරීම සඳහා ගණ්‌ඩ ගෝපාල පාණ්‌ඩ්‍ය රජෙකුගේද උදව් ලබාගෙන ඇත. අනුරාධපුර යුගයේ පැවති සම්ප්‍රදාය වූයේ යාපනය පාලනයට සඳහා රජුගේ ඇමති වරයෙකු යෙදවීමය.

දඹදෙණියේ රජ වූ දෙවන පරාක්‍රමබාහු රජු විසින් මාඝ පලවා හැරීමෙන් පසු ඔහුද ආරක්‌ෂාව පතා යාපනයට යන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. මේ අනුව නිගමනය කළ හැක්‌කේ යාපනයේ ප්‍රාදේශීය පාලක පරපුර කාලිංගයන් නිසා ප්‍රභවය වූ බවයි. මොවුන් දකුණු ඉන්දියානු දමිළයන් සමඟ සබඳතා ගොඩනඟා ගෙන සිටි පිරිසක්‌ මිස ද්‍රවිඩයන් නොවේ යයි පැවසේ.

කාලිංග මාඝ දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ රජෙකකුගේ පංචාලි නමැති දියණියක්‌ විවාහ කරගෙන සිටි නිසා ඔහුට පොළොන්නරුවේ බලය අල්ලා ගැනීමට දකුණු ඉන්දියන් ද්‍රවිඩ රජුන්ගේ සහාය ලැබුණි.

පූජාවලියට අනුව මාඝගේ හමුදාවේ ද්‍රවිඩ හේවායන් දහස්‌ ගණනක්‌ සිටි බව පෙනේ. කාලිංග පරපුර අවුරුදු 75 ක්‌ පමණ යාපනය පාලනය කිරීමෙන් පසු ආර්ය චක්‍රවර්ති පරපුරට එහි පාලන බලය අයිති විය.

(c) Shilpa Sayura Foundation 2006-2017