හැදින්වීම
 තේමාවකට අනුව කරන සමූහ වාදනයක දී පළමුවෙන් ම කළ යුතු වන්නේ ඒ සඳහා සුදුසු තේමාවක්‌ තෝරා ගැනීමයි. පරිසරයේ ඔබ දකින විවිධ සංසිද්ධි අතරින් ඔබේ කැමැත්තට අනුව කවර හෝ තේමාවක්‌ තෝරා ගැනීමේ නිදහස ඔබට ඇතත්, සමූහ වාදනයක්‌ නිර්මාණය කිරීමට ප්‍රමාණවත් ශක්‍යතා එකී තේමාවේ ඇත් ද යන්න ගැන සෑහීමකට පත්විය යුතුය. මන්ද යත් සමූහ වාදනයක සාර්ථක අසාර්ථක බව කෙරෙහි ඔබ තෝරා ගන්නා තේමාව ප්‍රබල සාධකයක්‌ වන හෙයිනි.
 
 සමූහ වාදනයක්‌ සඳහා තේමාවක්‌ තෝරා ගැනීමේ දී..
 
* සාම්ප්‍රදායික හෝ ආදේශ භාණ්‌ඩ වැඩි ගණනක්‌ යොදා ගැනීමට හැකි විය යුතු ය.
 * තේමාවේ අන්තර්ගත සාම්ප්‍රදායික හා ආදේශ භාණ්‌ඩවලින් පැහැදිලිව ප්‍රකාශ කිරීමට හැකි විය යුතුය.
 * වැඩි පිරිසකට සහභාගි වීමට හැකි විය යුතුය.
 * පැහැදිලි ලෙස එක්‌ අවස්‌ථාවක්‌ තවත් අවස්‌ථාවකින් වෙන් කොට දැක්‌විය හැකි ආකාරයේ විවිධ අවස්‌ථා අන්තර්ගත විය යුතු ය.
 * විවිධ තාල රූපවලට යෙදෙන පද කොටස්‌ හෝ නාද ඇතුළත් කිරීම මගින් විවිධත්වයක්‌ ඇති කළ හැකි විය යුතු ය.
 * හඬ හැසිරවීම, එනම් උස්‌ පහත් කිරීම, ලය වේගය අඩු වැඩි කිරීම වැනි වාදන ප්‍රයෝග යොදා ගැනීමට අවස්‌ථා තිබිය යුතුය.
 * අසන්නා වෙත සතුටක්‌, ආස්‌වාදයක්‌ ඇති කරන සුලු ශබ්ද මාධූර්යයක්‌ ඇති කළ හැකි විය යුතු ය.
 * කෙටි කාලයක්‌ තුළ දී නිමාවක්‌ සහිත නිර්මාණයක්‌ කළ හැකි තේමාවක්‌ විය යුතු ය.
 
 ඒ අනුව පරිසරය තුළින් තේමාවක්‌ තෝරා ගැනීම සැලකිල්ලෙන් කළ යුතු කාර්යයකි. පහත සඳහන් තේමා දෙක බලන්න.
 
 1. දළදා පෙරහැර
 2. තැපැල් කන්තෝරුව
 
 මෙම තේමා දෙකෙන් සාම්ප්‍රදායික හෝ ආදේශ භාණ්‌ඩ මගින් මුලින් සඳහන් කළ අවශ්‍යතාවයන් සපුරාගත හැක්‌කේ කවර තේමාවක්‌ යටතේ ද? නිසැකයෙන් ම මෙයින් වඩාත් ම සුදුසු වන්නේ "දළදා පෙරහැර" බව ඔබට ඒත්තු යන්නට ඇත.
 "තැපැල් කන්තෝරුව" එසැණ නිරූපණයක්‌ නැතහොත් කෙටි නාට්‍යමය අවස්‌ථාවක්‌ සඳහා සුදුසු තේමාවකි. මේ අනුව අපේ කාර්යය සඳහා වඩාත් උචිත තේමාව කුමක්‌ ද යන්න හදුනාගැනීම ඉතාමත් ම වැදගත් ය.

 සමූහ වාදනයක්‌ නිර්මාණය සඳහා තේමාව ලෙස "දළදා පෙරහැර" මාතෘකා කොට ගතහොත් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කවරේ දැයි අපි මී ළඟට සලකා බලමු.
(c) Shilpa Sayura Foundation 2006-2017