පූජා විධි රටාවේ අවස්‌ථා කිහිපයක්‌
  අත්‍යා බෙර වැයීම
 
මඟුල් බෙර වාදනයෙන් පසුව සිදු කරනු ලබන විශේෂ වාදන කොටසකි. මෙහි දී අරමුණු කොට ඇත්තේ වාදකයින්ගේ දක්‌ෂතා ප්‍රදර්ශනය කිරීමයි. අත්‍යා බෙර වාදනය යුගල වාදන විශේෂයක්‌ වන අතර එක්‌ අයෙකු විසින් වයන පද කොටස අනෙක්‌ වාදකයා විසින් වාදනය කළ යුතු වීමත්, එක්‌ වාදකයකු පුරාණ පදය අනෙක්‌ වාදකයා විසින් පූර්ණය කළ යුතු වීමත් මෙහි විශේෂ ලක්‌ෂණයකි. අත්මාරු වාදනය ද අත්‍යා බෙරවලට ම ඇතුළත් අංගයකි. විවිධ තිත් රූප වලට අනුව නිවැරදිව තාල තබමින් විවිධ පද කොටස්‌ වාදනය තුළින් කංකාරි බෙර වාදකයින් තමන්ගේ කුසලතා අත්‍ය බෙර වාදනයේ දී ප්‍රදර්ශනය කරති.
 
 අයිලේ යැදීම
 මෙය " දේවාරාධනාව " යනුවෙන් ද ඇතැම් අවස්‌ථාවල දී හඳුන්වනු ලැබේ. සියලුම දෙවිවරුන් සහ වැදියකුක්‌ කංකාරි භූමිය වෙන ගෙන්වා ගැනීම අයිලේ යැදීමේ පරමාර්ථයයි. මෙය ගායනයට හා ඒ අනුව කෙරෙන වාදනයන්ට සීමා වූ අවස්‌ථාවකි. මෙහි දී යක්‌ දෙස්‌සන් විවිධ තාල හා නාදමාලාවන්ට අනුව ගායනා ඉදිරිපත් කරනු ලැබේ.
 දාන පහ.
 කොහොඹා කංකාරිය හා සම්බන්ධ " දාන " පහක්‌ ඇත. ඌරු දානය, දිවි දානය, පල වැල දානය, සුරභි දානය, සහ වැදි දානය එකී දාන පහට ඇතුළත් ය. මෙකී දාන පහ ද ගායනයට ප්‍රමුඛත්වය දෙමින් ඉදිරිපත් කරනු ලබන්නකි. මෙය සමස්‌තයක්‌ ලෙස ගත් කල කොහොඹා කංකාරියේ පුරා වෘත්තය හා සම්බන්ධ විස්‌තර කියැවෙන අවස්‌ථාවක්‌ ලෙස සැලකිය හැකි ය.
 
 
මඩුපුරය
 
මඩුපුර නැටීම කරනු ලබන්නේ පත්තිනි සහ විරමුණ්‌ඩ දෙවිවරුන් මුල්කොට ගෙන ය. මෙයට අදාළ ඉතා මිහිරි ගායනාවන් රාශියක්‌ ඇත. ඇතැම් ප්‍රාදේශීය ව්‍යවහාරයන්ට අනුව මඩුපුර නැටීම " මලේ යක්‌කම " යනුවෙන් ද හැඳින්වේ. පේ කරන ලද ගස්‌වලින් ගෙන ආ පොල්මල් යහනින් දෑතට ගන්නා යක්‌ දෙස්‌සන් එයට සුවඳ දුම් අල්ලා " හනසු '' ඉවත් කොට කංකාරි මඩුව වටා යමින් කෝල් මුර කවි ගායනයේ යෙදීම මෙහි විශේෂ ලක්‌ෂණයකි. මඩු පුරය ද නර්තනයට වඩා ගායනාවලට ප්‍රමුඛස්‌ථානයක්‌ දෙන අවස්‌ථාවකි.
 
 
කෝල්මුර කවි
 
දෙවියන් වෙනුවෙන් ගායනා කරන පද්‍ය ගායනා කෝල්මුර කවි වශයෙන් හඳුන්වනු ලැබේ. වීර මුණ්‌ඩ, ඉරුගල් බණ්‌ඩාර, කළු කුමාර, කන්දේ බණ්‌ඩාර, කොහොඹා දෙවිවරු යනාදී වශයෙන් ගැනෙන කොහොඹ කංකාරියේ දී පුද ලබන දෙවිවරුන් පිළිබඳ විස්‌තර වර්ණනා ඇතුළත් ගායනා කෝල්මුර කවි ගායනා කරනු දැකිය හැකිය.
(c) Shilpa Sayura Foundation 2006-2017