ශාන්ති කර්ම හා සාරධර්ම
 

නර්තනය බිහිවූයේ ශාන්තිකර්ම ඇසුරිනි. එබැවින් ශාන්තිකර්ම ආශ්‍රිතව ඇති මෙවැනි අවස්‌ථා හඳුනා ගැනීමෙන්, නර්තන කලාව හා සාරධර්ම අතර ඇත්තේ කවර සම්බන්ධතාවක්‌ ද යන්න හොඳින් තහවුරු කරගත හැකි ය. කංකාරියක්‌, ගම්මඩුවක්‌, දෙවොල් මඩුවක්‌ හෝ පහන් මඩුවක්‌ වැනි කවර හෝ ශාන්ති කර්මයක්‌ පැවැත්වමේ දී එය සැලකෙන්නේ පොදු කටයුත්තක්‌ වශයෙනි.
 
 මෙහිදී එකී කාර්යය සඳහා අවශ්‍ය උපකරණ සපයා ගැනීම, අවශ්‍ය මඩු කූඩාරම් ඉඳිකිරීම, ආදී බොහෝ දේ කරන්නේ වැටුප් ලබා වැඩ කරන කුලීකරුවන් හෝ කම්කරුවන් නොවේ. එහි දී ගමේ සියලු දෙනාම එක්‌ ව අවශ්‍ය කටයුතුවලට තම තමන්ගේ ශක්‌ති ප්‍රමාණයෙන් සහායවීම සිරිතකි.
 
 මෙවැනි අවස්‌ථාවල දී ඒ පිළිබඳව දැනුම් තේරුම් ඇති වැඩිහිටියන් නායකත්වය ගැනීමත්, ඔවුන් වෙත අනායාසයෙන්ම නායතක්‌වය පැවරීමත් සිදු වේ. අන් අය කටයුතු කරන්නේ ඔවුන්ගේ උපදෙස්‌ පරිදි ය. මෙහි දී,
 
 * සුදුස්‌සා වෙත නායකත්වය පැවරීම හා නායකත්වය පිළිගැනීම.
 * නායකත්වයට ගරු කිරීම හා උපදෙස්‌ මත කටයුතු කිරීම.
 * සාමුහික සහ එක්‌සත්ව වැඩ කිරීම.
 * බල කිරීමෙන් තොරව ස්‌වයං පෙළඹවීමෙන් යුතුව ක්‍රියා කිරීම.
 * අන්‍යයන්ට උදව් කිරීම.
 
 වැනි සාරධර්ම රාශියක්‌ පිළිබිඹු වේ. ශාන්ති කර්මය සඳහා සහභාගී වන සියලුම ශිල්පීහු, තමන්ගේ ගුරුවරුන්ට, වැඩිහිටි ශිල්පීන්ට රඟ මඬලට ප්‍රවිශ්ඨ වීමට පෙර වැඳ නමස්‌කාර කරති. එසේම තමා හා සමාන ශිල්පීන් අතරේ ආචාර සමාචාර කර ගනිති. එපමණක්‌ නොවේ ඔවුන් රඟ මඬලට බසින්නේ " සඟ මහලු පිළිවෙළට ය " සඟ මහලු පිළිවෙළ යනු ගුරුවරුන් සහ වැඩිහිටියන් පෙරටුකොට ගෙන රඟ මඬලට පිවිසීමයි. නළු පෙළ ඉදිරියෙන් වැඩිහිටියන් නායකත්වය ගන්නා අතර ගෝල බාලයන් යන්නේ පිටුපසිනි. එහි දී ද
 
 * වැඩිහිටියන්ට සැලකීම
 * ගුරුවරුන්ට සැලකීම
 * ශිල්ප දත් ප්‍රවීණයන්ට ගරු කිරීම.
 * සමානයන් එකිනෙකා කෙරෙහි ගරු කිරීම.
 වැනි සාරධර්ම රාශියක්‌ අන්තර්ගත වේ.
 
 ශාන්ති කර්මය නැරඹීමට එන සියලු දෙනාට බත බුලතින්, කැවුම්, කොකිස්‌, කෙසෙල් ගෙඩි, සහ තේ කෝපි ආදියෙන් වරින්වර සංග්‍රහ කිරීම ගම්වල පවතින සිරිතකි. මෙයින් පිළිබිඹු වන්නේ " ආගන්තුක සත්කාරයට " ඇති කැමැත්තයි. ආගන්තකුක සත්කාරයට ලාංකිකයන් තරම් ළැදිව කටයුතු කරන ජාතියක්‌ ලෝකයේ කවර හෝ රටක ඇත් ද යන්න සැකයකි.
 
 ශාන්ති කර්මය නැරඹීමට එන සියලුදෙනාම අසුන් ගන්නේ රඟ මඬල දෙපසින් එළන ලද මාගල් හෝ පැදුරු මත ය. මෙහි දී දුප්පත්, පොහොසත්, භේදයක්‌ හෝ උස්‌මිටි භේදයක්‌ නොසැලකේ. සියල්ලෝම එකට වාඩි ව ඉඳ නැටුම් නරඹා විනෝද වෙති. සෙත් ශාන්ති කර්මයක්‌ ගමේ ප්‍රභූන් සහ සාමාන්‍යයන් එකට එක්‌ කරන අවස්‌ථාවකි.
 
 නූතන වේදිකා රංගන තුළ වුව ද ඉහත කී සාරධර්ම යම් පමණකට හෝ රැකි ඇති බව පෙනේ. වේදිකාට නැගීමට පෙර වේදිකාව අතින් ස්‌පර්ෂ කොට සිප ගැනීම, නැතහොත් වේදිකාව දෑතින් අල්ලා අත් එකතු කර නමස්‌කාර කිරීම මෙයට කදිම නිදසුනකි. එහි දී කරන්නේ ද තමා පා තබන, රංග දක්‌වන වේදිකාවට ගෞරව කිරීමකි. අද්‍යතන සමාජයේ බොහෝ විට අසන්නට ලැබෙන කළ එළි මංගල්‍යය ද එක්‌ අතකින් ගුරු පූජා උත්සවයක්‌ ලෙස සැලකිය හැකි ය. ශිල්පියා කළ එළි බැසීමේ දී තමන්ගේ ගුරුවරයා කෙරෙහි භක්‌ති ප්‍රණාමයෙන් යුක්‌තව ගෞරව කිරීම උතුම් චාරිත්‍රයකි.
 
 නූතන සමාජ ක්‍රමය තුළ විවිධ සංස්‌කෘතීන් ගලා ඒමත්, එකී සංස්‌කෘතීන් අවිචාරයෙන් වැළඳ ගැනීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ඉහත කී ගුණ දහම් සමාජය තුළින් ක්‍රමයෙන් අභාවයට යමින් පවතී. මෙවැනි සාරධර්ම යම් පමණකට හෝ රැඳී පවතින්නේ නර්තන කලාව වැනි සංස්‌කෘතික හර පද්ධතීන් හේතුකොට ගෙන ය.
 
 ඒ නිසාම නර්තන කලාව ආශ්‍රිත සාරධර්ම අගය කළ යුතුවාක්‌ මෙන්ම, අනාගතයට රැගෙන යෑමත්, ඊ ළඟ පරම්පරාවට ඒවා දායාද කර දීමත් අපේ යුතුකම මෙන්ම වගකීම ද වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017