නර්තන කලාව හා සාරධර්ම
 


නර්තන කලාව යනු අපේ සංස්‌කෘතියේ එක්‌ ප්‍රබල අංගයකි. එසේම එය අපේ ජාතික උරුමයකි. අපේ ම සංස්‌කෘතියෙන් පෝෂණය ලබා විකාශය වූ දේශීය නර්තන කලාව තුළ අපේ ජාතික අනන්‍යනතාව නිරූපණය කරන වටිනා සාරධර්ම රාශියක්‌ ගැබ් ව ඇත.
 නර්තන කලාව හා බැදුණ සාරධර්ම මොනවා ද? එය ප්‍රායෝගිකව ව්‍යවහාර වන්නේ ද? එකී සාරධර්ම හඳුනාගත යුත්තේ කවර හේතුන් මත ද යන කරුණු සොයා බැලීම වැදගත් ය.
 
 ආධුනික නළුවා නර්තනය ඉගෙනීමේ දී ඉටු කරන චාරිත්‍ර වාරිත්‍රවලින් අපි අපේ පාඩම පටන් ගනිමු. ඔහු ප්‍රථමයෙන්ම කරන්නේ ගුරුවරයාට වැඳ අවසර ලබා ගැනීමයි. ඉන් අනතුරුව නර්තනයට මුල පුරන්නේ නමස්‌කාර සරඹය නැටීමෙනි. එමගින්
 
 * ත්‍රිවිධ රත්නයටත්
 * ගුරු දෙමව්පියන්ටත්
 * කුල දේවතාවුන්ටත්.
 * තමා උගන්නා ශිල්පයටත්
 
 නමස්‌කාර කරයි. එකී උතුම් තත්වයන්ට ගෞරව කරයි. එය අපේ සංස්‌කෘතියට අයත් උතුම් සාරධර්මයකි. එහි දී වැඳ නමස්‌කාර කරන්නෙත්, ගෞරව කරන්නේත් සචේතනික වස්‌තූන් කෙරෙහි පමණක්‌ නොවේ. තමාට ශිල්ප සෑදීමට උදව්වන අචේතනික වස්‌තූන් කෙරෙහි පවා ගෞරවයක්‌ භක්‌තියක්‌ නර්තන ශිල්පියා තුළ ඇත.
 
 නර්තනය හැදෑරමට පවිසෙන ආධුනිකයා නර්තනය සඳහා තමන්ගේ දෙපා හුරුකර ගැනීමට කරනු ලබන පා සරඹ අභ්‍යාස කරන්නේ " දණ්‌ඩි කඳ " යනුවෙන් හඳුන්වන විශේෂ ආධාරකයක්‌ ඇසුරෙනි. සාම්ප්‍රදායිකව දණ්‌ඩිකඳ සක්‌සකර ගන්නේ නර්තනයේ යෙදෙන්නාගේ ඉණ පමණ උසට සිටින සේ ගස්‌ දෙකක්‌ හරහා දණ්‌ඩක්‌ බැඳ ගැනීමෙනි. මේ සඳහා බහුලව යොදා ගනු ලබන්නේ පුවක්‌ කඳකි. නර්තනය ඉගෙනුමට පිවිසෙන ආධුනිකයා දණ්‌ඩි කඳට අත තබන්නේ ඊට වැඳ නමස්‌කාර කිරීමෙන් පසුව ය. නර්තන පුහුණුවෙන් පසුව ද ඊට වැඳ නමස්‌කාර කළ යුතු ය. එසේ දණ්‌ඩි කඳට නමස්‌කාර කරන්නේ ඇයි?
 
 බුද්ධත්නය ලැබීමෙන් පසු බුදුන් වහන්සේ තමන්ට බුද්ධත්වය ලැබීමට සෙවණ දුන් බෝධි වෘක්‌ෂය දෙස සතියක්‌ මුළුල්ලේ ඇසිපිය නොහෙළා බලා සිටිමින් එයට ගෞරව කළ ආකාරය බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ව ඇති බව ඔබට මතක ඇත. බෞද්ධ සංස්‌කෘතියෙන් පෝෂණය ලද නර්තන කලාව තුළ ද එවැනි ගුණ දහම් අන්තර්ගත ව ඇත.
 
 නර්තනය පුහුණුවන ආධුනිකයාට දණ්‌ඩි කඳ යනු හුදෙක්‌ පුවක්‌ කඳක්‌ නොවේ. එය පූජනීය වස්‌තුවකි. තමන්ට සහාය වන්නට ගෞරව කිරීමෙන් නිසි ලෙස ශිල්පඥානය පිහිටන බව අපේ පැරැන්නන්ගේ විශ්වාසය විය. බෙර වාදනය ඉගෙන ගැනීමේ දී ද ආරම්භයේ දී මෙන්ම අවසානයේ දි ද බෙරයට වැඳ නමස්‌කාර කරන අවස්‌ථා ඔබ කොතෙකුත් දැක ඇත. තමා පාඩම් පොතට අවසනයේදී වඳින ලෙස ඔබේ ආච්චි හෝ සීයා ඇතැම් විට ඔබට කියා දෙන්නට ඇත. මේ සෑම අවස්‌ථාවක දීම ආවේනික වස්‌තූන්ට අප ගෞරව කරන්නේ ශිල්ප ඉගෙනුමට එය මග පෙන්වන බැවිනි. සහාය වන බැවිනි. එබැවින් එය අපේ ගුරුවරයායි. ගුරුවරයාට දක්‌වන ගෞරවයට එම වස්‌තුවටත් දැක්‌වීම සිංහල සංස්‌කෘතික සාරධර්මයකි. සදාචාරාත්මක වශයෙන් කොතරම් අගය කළ හැකි සත් චාරිත්‍රයක්‌ මෙම ක්‍රියාව තුළ අන්තර්ගත වන්නේ ද යන්න ඔබම සිතා බලන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017