සාරධර්ම යනු කුමක්‌ ද?
 



කිසියම් සමාජයක්‌ තුළ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එනු ලබන්නා වූත්, සමාජයේ යහ පැවැත්ම සඳහා යෝග්‍ය වේ යැයි එකී සමාජය විසින් ම පිළිගනු ලබන්නා වූත් ආචාර ධර්ම පද්ධතිය සාරධර්ම යනුවෙන් හැඳින්විය හැකි ය.
 
 " සාරධර්ම " යනු නීති රීති මාලාවක්‌ නොවේ. පැවතීම් සමූහයකි. නැතහොත් ගුණ දහම් මාලාවකි. එකී සාරධර්ම පිළිගන්නා සහ පිළිපදිනු ලබන පුද්ගලයෝ සමාජයේ ගෞරවයට හා පිළිගැනීමට පාත්‍ර වෙති. එසේම ඒවා ප්‍රතික්‌ෂේප කිරීමෙන් සහ පිළි නොපැදීමෙන් සමාජයේ පිළිකුලට සහ අප්‍රසාදයට ලක්‌ වෙති.
  
 විවිධ සමාජයන්ගේ සංස්‌කෘතික හා සදාචාරාත්මක පිළිගැනීම් අනුව එක්‌ එක්‌ සාරධර්මවල වටිනාකම් වෙනස්‌ විය හැකි ය. උදාහරණයක්‌ මගින් පැහැදිළි කරතොත් ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල ගුරුවරුන්ට, දෙමව්පියන්ට සහ වැඩිහිටියන්ට වැඳීම පිළිගත් සාරධර්මයකි. එහෙත් එංගලන්තය, ඇමරිකාව වැනි බටහිර රටක එය අත්‍යවශ්‍ය චාරිත්‍රයක්‌ ලෙස නොසැලකේ.
 
 එබැවින් එකී සාරධර්ම ඇතැම් රටවලට පමණක්‌ සීමා වේ. ලෝකයේ සෑම සමාජයක්‌ විසින් ම පොදුවේ පිළිගනු ලබන සාරධර්මයන් ද ඇත. මළවුන්ට ගෞරව කිරීම, දුකට පත්වූවන්ට සහ අසරණයන්ට පිහිට වීම වැනි ගුණ දහම් ලෝකයේ බොහෝ සමාජයන්හී පිළිගනු ලබන ඒවා වන බැවින් ඒවා පොදු සාරධර්ම ලෙස සැලකේ. ඒ අනුව සාරධර්මයක්‌ යනු කිසියම් සමාජයක සංස්‌කෘතික සාධකයන්ට අනුකූලව ගොඩනැගුනු ගුණ දහම් සමූහයක්‌ ලෙස සැලකීම වඩාත් නිවැරැදි ය.

(c) Shilpa Sayura Foundation 2006-2017