හැඳින්වීම
 


ලාස්‍ය ලක්‌ෂණ ඉතා මැනවින් ප්‍රකට කරන " මණිපුරි නැටුම " උතුරු ඉන්දියානු නර්තන ක්‍රමයකි. මෙම නර්තනයන්ගේ ප්‍රභවය උතුරු ඉන්දියානු ඇසෑම් සහ මිණිපුර් ප්‍රාන්තවල සිදු ව ඇති අතර, මෙය දීර්ඝ ඉතිහාසයක්‌ ඇති නැටුම් ක්‍රමයක්‌ ලෙස පිළිගැනේ. මෙම නර්තනය " ක්‍රිෂ්ණ" ඇදහීමට මුල් තැනක්‌ දෙන්නකි. මණිපූරි නර්තනයේ ප්‍රධාන වශයෙන් ම තේමා කොටගෙන ඇත්තේ " රාධක්‍රිෂ්ණා " ප්‍රේම පුරාවෘත්තයයි.


 
 මණිපුරි නර්තනයේ ජනප්‍රිය කිරීමේ ගරුත්වය හිමි වන්නේ මහා කවි " රවීන්ද්‍රනාත් තාගෝර් " තුමාටය. මණිපුරි ප්‍රදේශයේ කරන සංචාරයක දී මෙම නර්තනය පිළිබඳව ඇති වූ ඇල්ම හේතුකොට ගෙන, එතුමාගේ අධ්‍යාපනික ආයතනය වූ ශාන්තිකේතනයෙහි (විශ්ව භාරතී විශ්ව විද්‍යාලය) මෙම විෂය ඉගැන්වීම සඳහා අවස්‌ථාවක්‌ ලබා දීමත්, එතුමාගේ නෘත නාටක සඳහා මණිපුරි නර්තනය සම්බන්ධ කර ගැනීමත් යන කරුණු හේතුකොට ගෙන මණිපුරි නර්තනය ජනප්‍රිය නර්තන අංගයක්‌ බවට පත් විය.

 මණිපුරි නර්තනයේ ඇති එක්‌ විශේෂ ලකෂණයක්‌ නම් ස්‌ත්‍රී පුරුෂ දෙපිරිසටම නර්තනයට සහභාගී වීමට ඇති හැකියාවයි. මණිපුරි නර්තනයෙහි ජනප්‍රිය ම නර්තන අංගය වන්නේ " රාසලීලා " යි. විෂ්ණු ඇදහීම ප්‍රධාන කොටගෙන ඇති මෙම නර්තන සම්ප්‍රදායෙහි ක්‍රිෂ්ණගේ චරිතයේ විවිධ අවස්‌ථා ගීතයෙන් හා නර්තනයෙන් නිරූපණය වෙයි. සෑම මණිපුරි දේවස්‌තානයක ම " රාස මණ්‌ඩල " නමින් හැඳින්වෙන රංග භූමියක්‌ ඇත.
 
 රාස්‌ලීලා නර්තනයේඳී ක්‍රිෂ්ණා වනයේ සැරිසැරීම, රාධා සමගින් වස්‌දඬු පිඹිමින්, ගෝපිකාවන් පිරිවරාගෙන විනෝද වන ආකාරය චමත්කාරජනක ලෙස නිරූපණය කෙරේ. මෙම නර්තනයන්ගේ වඩාත් කැපී පෙනන ලක්‌ෂණය වන්නේ ශෘංගාරාත්මක ස්‌වරූපයයි. " කිර්තන " හෙවත් " චලන් ඝතන් " නමින් හැඳින්වෙන විෂ්ණු සංකල්පය පිළිබිඹු කෙරෙන නර්තනය ද මණිපුරි නර්තනයන් අතර සිත් ඇද ගන්නාසුලු රංගනයකි.
 
 මණිපුරි නර්තන අතර ශාස්‌ත්‍රීය නැටුම් මෙන්ම ගැමි නැටුම් ද ඇත. " කර්තාලි, අධිවාස, මඤ්ජිරා " යනු එකී ගැමි නැටුම්වලින් කිහිපයකි.
 
 මණිපුරි නර්තනයේ වෙස්‌ ගැන්වීම විශේෂ වන්නේ, විචිත්‍ර වූත් විවිධ සැරසිලි යොදා අලංකාර කරනු ලබන්නා වූත් ඇඳුම් කට්‌ටයලයක්‌ යොදා ගන්නා බැවිනි. විශේෂයෙන් ම කාන්තාවන්ගේ දිකිනූ රැලි සහිත සාය " කනදු පබළු " කුඩා වීදුරු දර්පණ යනාදියෙන් සරසා දිලිසෙන සහ අලෝක පරාවර්තිත උපක්‍රම මගින් අලංකාර කර තිබීම කැපී පෙනෙන ලක්‌ෂණයකි. කාන්තාවන්ගේ රන් නූලින් වැඩ දමා අලංකාර විල්ලුද හැට්‌ටයක්‌. වටකර කැවිමේ දී පුළුල් ලෙස විසිර යන සේ රැලි තබා සකස්‌ කළ කොළ පාට තද රතු පාට වැනි වර්ණයක්‌ යොදා සකස්‌ කළ සායත් නැටුමේ ප්‍රසාංගික ලක්‌ෂණ ඉස්‌මතු කර දක්‌වයි.

 
 පිරිමින්ගේ උඩුකය නග්න ය. ඉණට දෝතියක්‌ ඇඳ සළුවක්‌ බඳී. උඩුකය අලංකාර ආභරණවලින් සරසා හිස පළඳනාවක්‌ යොදා ගනී. මෙම හිස්‌ පළඳනාවේ අගට මොනර පිහාටුවක්‌ සවිකර ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017