කෝට්‌ටේ යුගය
 
අන් කවර යුගවලටත් වඩා කෝට්‌ටේ යුගය දේශිය නර්තන ඉතිහාසයේ වැදගත් සන්දිස්‌ථානයකි. නර්තන කලාව පිළිබඳ සමකාලීන ලිඛිත සාධක සහ මුලාශ්‍ර බහුලව හමුවන යුගයකි. දඹදෙණි හා ගම්පොළ යුග වන විට ඉන්දියාවේ පැවති දේවදාසී ක්‍රමයට බෝහො සමාන නර්තන ක්‍රමයක්‌ ලංකාවේ දේවාල ආශ්‍රිතව ගොඩනැගෙමින් පැවතියේය. එම ගොඩනැගෙමින් පැවති නර්තන ක්‍රම උපරිම වශයෙන් සංවර්ධනය වූ යුගයකි කෝට්‌ටේ යුගය. මේ යුගයේදී නර්තනය දේවාල වල අනිවාර්ය අංගයක්‌ වී තීබූ බවට කරුණු මුලාශ්‍ර වල සඳහන්ව ඇත.
 
 සිංහල භාෂා සාහිත්‍යයේ ස්‌වර්ණමය යුගය කෝට්‌ටේ යුගයයි. මේ යුගයේ ප්‍රකට සන්දේශ කාව්‍ය බොහොමයක්‌ බිහිවී ඇත. එම සන්දේශ කාව්‍ය වල දේවාලයන් හි නළගනුන් විසින් රඟ දක්‌වන ලද නර්තනයන් පිළිබඳව විස්‌තර වේ.
 
 සැළලිහිණි සන්දේශයේ
 
 විදෙන ලෙළෙන නරුබර පුළුලුකුල රැඳී
 හෙළන නගන අත නුවනග බැලුම් දිඳී
 රුවින දිලෙන අබරණ කැළුම ගත යෙදී
 සැලෙන පහන සිළුවැනි රඟන ලිය සැදී
 
 ලකල පුළුලුකුල බැඳි මිණි මෙවුල්ලා
 සමග රන් සළඹ නද දී වෙවුල්ලා
 වයන පදට තබමින් පද කමල්ලා
 රඟන ළදුන් බල රූ සිරි සියල්ලා
 

 
හංස සන්දේශයේ
 

 
රඟන රඟ එරඟ බිම සොඳුරු විදුලිය
 රඟන රඟ වැන්න ගන කුළෙහි විදුලිය
 රඟන දන නුවන් දන රුසිරි ඉදුලිය
 රඟන ලොව නරඹ රඟ ඔවුන ඉටුලිය
 

 
පරෙවි සන්දේශයේ
 

 
මුදුනින් බැම යුවළින් දිගු නුවනින් ගෙල පසිනි
 යුගතින් රතැඟිලියෙන් උර තලයෙන් මැද දෙසිනී
 වටොරින් පුළුලුකුලින් දඟ යුවළින් පතු ලසිනී
 රැඟුමන් කළ කමණින් සොඳ අඟනන් දකු තොසිනී
 
 
කෝකිල සන්දේශයේ
 

 
අදිමින් සුදුපට සළුගෙන සඳුනෙන් තුනු තවරා
 සරමින් උර මුතු හර තිර එලිගිය මල් සපුරා
 සොබමන් යුග සරණත නූපුර රැව්දී ඉඳුරා
 බසිමින් සබ මැද රඟ දෙති කියමින් ගී සපුරා
 

 සැවුල් සන්දේශයේ
 
 
බරත සතර පෙර ඉසිවර කී ලෙසට
 දෙනෙත යුගත දෙපසෙහි පමන සරි කොට
 සමග තාල මද්දල ගියට එක්‌කොට
 දිමුතු කලා රඟ දෙති දින නල ලෙසට

 
කෝට්‌ටේ යුගයේ සන්දේශ කාව්‍ය වලින් විස්‌තර වන මෙම නළගන රැගුම්වලින් එවක දියුණු නර්තන ක්‍රමයක්‌ අප රටේ පැවති බව පිළිගත හැකිය. මෙම කාව්‍ය වල " බරත " යන වචනය සඳහන් වී ඇත. විචාරකයින් පවසන අන්දමට කෝට්‌ටේ යුගයේ දේවදාසී නළගනන් විසින් දක්‌වන ලද්දෙ ඉන්දියානු භරත නර්තනය බවය.

එසේ උවද මේ යුගයටම අයත් කෑගල්ලේ අම්බුළුගල හා බෙන්තර ගලතුරු මුල විහාර උළුවහු කැටයම් වල දක්‌නට ඇති රූකම් සන්දේශ කාව්‍යවල විස්‌තර කරන නැටුම් වලට වඩා වෙනස්‌ ආකාරයක්‌ ගනී. මෙයට හේතුව මේ රූකම් වල ඇත්තේ නළු ( පිරිමි ) රූප වීමය. ඒවා ඉන්දියානු නැටුම් වල ඉරියවු වලට වඩා වෙනස්‌ ආකරයක්‌ ගනී.
 
කෝට්‌ටේ යුගයේ සිදුවූ තවත් සුවිශේෂී සිද්ධියක්‌ ලෙස සැලකිය හැක්‌කේ, දේශීය බලියාග ක්‍රමයක්‌ බිහිවීමයි. වීදාගම මහා මෛත්‍රී හිමියන් මේ සඳහා ප්‍රමුඛව කටයුතු කල අයෙකි. ඉන්දීය බමුණන් ගේ කාර්යක්‌ ලෙස පැවති යාග ශාන්තිකර්ම වඩ වඩාත් දේශිය මුහුණුවරක්‌ ගන්නට විය.
 
මේ යුගයේ පැවති ආධ්‍යාපන ආයතන වන තොටගමුවේ විජයබා පිරිවෙන , කෑරගල පද්මාවතී පිරිවෙන ආදී ආයතන වල නර්තන කලාව හා සංගීතය විශය මාලාවට අනුකූල වී ඇත.
 
කුවේණි අස්‌නේ තොරතුරු වලට අනුව මේ යුගයේදී කොහොඹා කංකාරිය පැවැත්වූ බව පෙනේ. දේශිය නර්තන කලාව හා එක්‌ව යන ගායනා විශේෂයක්‌ වන ප්‍රශස්‌ති කාව්‍ය රචනය ආරම්භ වූයේ කෝට්‌ටේ යුගයේ රජකල 6 වන පරාක්‍රමබාහූ රජු උදෙසා කරන ලද " පැරකුම්බා සිරිත " නම් ග්‍රන්ථය මගිනි.
 
මේ අනුව බලන කල කෝට්‌ටේ යුගය නර්තන කලාවේ පුනරුදයක්‌ ඇතිකළ යුගයක්‌ ලෙස හැදින්විය හැකිය. මේ යුගයේ අවසාන භාගයේදී රටේ ඇතිවූ යුදමය තත්වයන් හේතූවෙන් නර්තන කලාවේ කිසියම් පසුබෑමක්‌ ඇතිවූ බව පෙනේ
(c) Shilpa Sayura Foundation 2006-2017