ශ්‍රී ලංකාවේ ලී කැටයම් සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන " ඇම්බැක්‌ක " දේවාලය ගම්පොල යුගයේ රජ කල වික්‍රමභාහු රජුගේ කාලයේ කරන ලද්දකි. මේ ලී කැටයම් අතර ඇති නළු රූප ගම්පොල යුගයේ නර්තන කලාව පිලිබඳ වැදගත් කරුණු රැසක් හෙලිදරවු කරයි.
එම දේවාලයේ ලී බාල්කයක කැටයම් කර ඇති ලී කෙලි නැටුමක යෙදී සිටින නළුවන් ගේ රූකම් පෙළ ගම්පොළ යුගයේ දී ප්‍රචලිත ගැමි නැටුම් කලාවක් තීබූ බවට අගනා සක්‍ෂියක් සපයයි. වර්තමානයේදී ප්‍රචලිත ලී කෙළි නැටුම එම යුගයේද ජනතාව අතර ප්‍රචලිතව තිබූ බවට ඒ රූකම් මගින් සනාථ වේ. මීට අමතරව එහි ලී කණුවල සිවුරැස් ජනේල වල කැටයම් කර ඇති නළු රූ භාරත නැටුම්වල අංගහාර නිරූපණය කරන බව විචාරකයින් කියයි.
හින්දු ගෘහ නිර්මාණ ලක්‍ෂණ අනුව කර ඇති ගඩලාදෙනිය විහාරද ගම්පොල යුගයට අයත් නිර්මාණයක් වන අතර මෙම විහාරයෙන්ද රූකම් හමුවී ඇත. එහි පාදමේ කැටයම් කර ඇති රූපාවලිය නර්තන කලාව පිළිබඳ තොරතුරු හෙළි කරයි. එහි නටන වයන රූකම් අතර නළාව, උඩැක්‌කිය, රබාන, තාලම්පට වැනි වාද්‍ය භාණ්‌ඩද දක්‌නට ලැබේ.
ගාලු දිස්‌ත්‍රික්‌කකයේ ගලපාත" විහාරයද ගම්පොල යුගයට අයත් යැයි කියැවේ. මෙම විහාරයේ උළුවස්‌සෙහි වාදන භාණ්‌ඩ වයන වාදකයන් ගේ කැටයම් වේ. මේ කැටයම් අතර උඩැක්‌කි, හොරණෑ, බෙරය ආදි භාණ්‌ඩ වේ.
කැගලු දිස්‌ත්‍රික්‌කයේ ගනේගොඩ දේවාලය හා අම්බුළුගල විහාරයන් හීදි හමුවන රූකම් ද ගම්පොල යුගයේ නර්තන කලාව පිලිබඳ තවත් සාක්‍ෂි සපයයි.
යාපහුව, ගඩලාදෙනිය, ඇම්බැක්‌ක කැටයම් වල දක්‌නට ඇති රූකම් බොහෝ දුරට දකුණු ඉන්දීය " විදම්බර්ම් " දේවාලයේ රුකම් වලට සමාන කම් දක්‌වන බව මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා "ගැමි නාටකය " පොතේ සඳහන් කොට ඇත.
ක්‍රි.ව. 1350 දී පමණ මෙහි ගොඩබට " ඉබන් බතූතා" දේශ ගවේශකයාගේ වාර්තාවලට අනුව දෙවුන්දර උපුල්වන් දේවාලයේ බාලිකාවන් 500 ක් දෙනා දෙවියන් ඉදිරියේ නැටූ බව කියැවේ. මෙම බාලිකාවන් සඳහා "දිවෙල්ගම් " ලබාදී තිබූ බවට ඔහු සඳහන් කරයි. රත්නපුර සමන් දේවාලයේ දේවදාසින් නර්තනයේ යෙදුණු බව "සමන් දේවාල සන්නසට " අනුව පැහැදිලිවේ. මේ සියළු තොරතුරු මගින් සනාථ වන්නේ ඉන්දියාවේ දේවාලවල පැවති දේවදාසී නර්තන ක්‍රම ගම්පොල යුගයේදී ලංකාවේද පැතිර තිබූ බවයි.
ගම්පොල යුගයේ රචිත කාව්‍ය ග්‍රන්ථයක් වන " තිසර සන්දේශයේ " දේවාලවල රඟන දේවදාසින් ගැන මෙසේ විස්‌තර කොට ඇත.
පිඹිනා වස්‌ඳඩු ගොස තාලමටා
වයනා මද්දල බෙර තාලමටා
රඟනා නොහැරම එම තාලමටා
ලියනා දුටුවේ තොස තාලමටා
මේ අනුව ගත්කල ඉහත සක්‍ෂී හැම ගැන බැලූවිට අපට පෙනී යන්නේ ගම්පොල යුගයේදී ඉන්දියානු භරත නාට්‍ය සම්ප්‍රදාය රාජ සභාව හා දේවාල ආශ්‍රිතව භාවිතා වූ බවයි. මීට අමතරව ගැමි ජනතාව අතරේ ගැමි නැටුම් කලාවක් ද පවතින්නට ඇත. පසුකාලීනව දේශීය නර්තන කලාවන් ස්‌වාධීනව නැගිටීමේදී මෙකී භරත නාට්‍යයේ යම් යම් ආභාෂයන් ඒ කෙරෙහි එල්ල වෙන්නට ඇතැයි නිගමනය කල හැකිය.