විල්ගම්මුල මාහිමියන්
 

සිංහල සම්භාව්‍ය සාහිත්‍යයේ, අතිශය සාර්ථක විරහ වර්ණාවක්‌ ගෙන එන "සඳකිදුරුදාකව" සිංහල සාහිත්‍යයට දායාද කරණු ලැබුයේ විල්ගම්මුල මාහිමියන් විසිනි. මේ තෙරිදුන් විසින් දෙනගමු විහාරයේ දී මෙම කාව්‍ය කළ බව පහත සඳහන් කාව්‍යයෙන් අනාවරණය වේ.


"පරපුරැති නිකසල
මහ තෙරිදු විල්ගම්මුල
පරවැඩ පිණිස කළ
මෙකව වස්‌වා දනන් මන දොළ"


මේ දෙනගමු විහාරය රත්නගිරි පර්වතය අසල තිබූ බවත් එහි තුන් බෝ පිහිටි බවත්, සඳකිදුරුදා කාව්‍යයේ මෙසේ සඳහන් වේ.


"රන්ගිරි සිර අසල
මල් පලරමින් මන කල
තුන් බෝ සැදි විපුල
පසිදු දෙනගමු වෙහෙර සැම කල"


මෙම දෙනගම වෙහෙර සබරගමුවේ පිහිටි දෙනගමු විහාරය බව වියතුන් ගේ මතයයි.


විල්ගම්මුල පරපුර කුරුණෑගල කෝට්‌ටේ යුගයේ දී ප්‍රසිද්ධව සිටි භික්‌ෂු පරපුරකි. අනතුරුව මෙම පරපුරේ හිමිවරු දිවයින පුරා විසිරී ගියහ. එහෙයින් සඳකිදුරුදාව කළ විල්ගම්මුල හිමියන් විසූ කාලය පැහැදිලිව කිව නොහැක. ආචාර්ය පුංචි බණ්‌ඩාර සන්නස්‌ගල ශුරීන්ගේ අදහසට අනුව මෙතුමා ජීවත් වූයේ මහනුවර යුගයේ ප්‍රථම භාගය වු සෙංකඩගල කාලයට ගැනෙන (ක්‍රි.ව. 1490-1706) අතර කාල පරිච්ඡේදයකය.


සඳකිදුරුදා කාව්‍යට වස්‌තු විෂය වූයේ ජාතක පොතේ එන බුදු සිරිතක්‌ වු චන්ද කින්නර ජාතයයයි. ස්‌ත්‍රියකගේ පතිවත රැකීමේ බලය කියාපානු ලබන පුවතයි. බෝසත්තුමා සඳකිදුරකුව ඉපදී සිය බිරියත් සමඟ වනයේ සතුටින් කාලය ගත කරද්දී දඬයමේ යෙදෙන බඹදත් රජුට හමුවේ. කිදුරිය ලබාගැනීමට ලොල් සිතෙන බඹදත් රජු කිදුරාට හීයෙන් විදියි. කිදුරා සිහිසුන්ව ඇද වැටෙයි. අනතුරුව රජු ඇය පොළඹවා ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූයෙන් ඇයගෙන් වෙන්ව යයි. මෙහිදී කිදුරිය සිය සැමියා වෙනුවෙන් සත්‍යක්‍රියා කරනු ලබයි. ඇගේ සත්‍යක්‍රියා බලයෙන් සක්‌ දෙවිදුන් පැමිණ සඳකිදුරා සුවපත් කරයි. යළි ජීවිතය ලබා දෙයි. පසුව දෙදෙනා පෙර මෙන්ම සතුටින් දිවි ගෙවනු ලබයි. මේ ජාතක කථාවේ පුවත සුදුසු ලෙස ගෙන ළගන්නා අයුරින් විල්ගම්මුල හිමියන් කාව්‍යයට නගනු ලබයි.


විල්ගම්මුල හිමියන් කාව්‍යකරණයේ මනා පරිචයක්‌ ඇති වියත් පඬිරුවනෙකි. එතුමාගේ භාෂාව නිරවුල්ය. සරලය. සඳකිදුරුදා කාව්‍යයේ දී කි දුරා වයද්දී කිදුරියගේ අසිරිමත් රංගනයට අවධානය යොමු කරමු.


"වස්‌ කුළල් නාදේ
එක්‌ කොට ගීත නාදේ
කියන එහි නාදේ
අසන රිසි ඉන් වැසි මනාදේ


ලෙළවා රතත් තල
රඟන රඟ දුටු සුර කැල
වඩවති සිතේ ලොල
එයින් වින්දෝය නෙත්ලත් පල


කියන ගී නාදේ
තබමින් අනුව පාදේ
නටයි දැන බේදේ
ගුරුන් නැතිවත් ශිල්ප සෑදේ"


ගුත්තිලය කළ වෑත්තෑවේ හිමියන්ගේ ඡායාව මේ මත වැටී ඇති බව සඳහන් කළ යුතුය. එසේ වුවද මෙම අසිරිමත් නැටුම සඳ කිදුරුදාවට ගෙන එන්නේ අසිරියක්‌මය. එවන් නළඟනක්‌ වැනි සඳකිදුරිය වෙත බඹදත් රජුගේ නෙත සිත ඇදීයාම අරුමයක්‌ නොවේ.


සඳකිදුරුදා කාව්‍යයේ එන වනයේ වර්ණනාවට ද අවධානය යොමු විය යුතු වර්ණනාවක්‌ වේ. එහි එළිසමයෙන් උපරිම ඵල නෙලාගෙන ඇත.


"මත් ගජ රළින් රළ බලවතේ
දෙන් දිගු දළින් දළ නොනැවතේ
යුත් මුව මුලින් මුළ කෙළිමතේ
මෙත් දිය දොළින් දොළ එවනතේ"


සඳ කිදුරුදාවේ එන විශිෂ්ඨතම වර්ණනය වනුයේ කිදුරියගේ විලාපයයි. එයින් නැගෙන චිත්ත වේගය ප්‍රාණවත්ය. කරුණා රසයෙන් යුක්‌තය. සිංහල සාහිත්‍යයේ එන විරහ වර්ණනාවන් අතර අතිශය අගය කළ හැකි රචනයක්‌ ලෙස හදුන්වා දිය හැක්‌කේ එබැවිනි.


බඹදත් රජුගේ හී පහරින් සිහිසුන්ව ඇද වැටෙන තම ප්‍රියයාගේ දුක්‌ඛිත තත්වය බලා කිදුරිය වැලපෙමින් සිටි අයුරු විල්ගම්මුල හිමියන් රචනා කරන්නේ මෙසේය.


"ඇඳගත් තදින් විදි සැර නොවැරදී වැද
සියපත් මුවෙන් වැම්මෙන ලේ හැලි නොමද
බලවත් දුකින් වැලපෙන හිමි නුඹ වැලද
මගෙ නෙත් දියෙන් සේ දී ගෙනැ ගියේ වද


"දිසි ගගුලැල්ලේය කෙළැ සිහිලැල් ලේය
තුරු සෙවනැල්ලේය මද පවනැල් ලේය
නුඹ සහ වැල්ලේය මල් පෙති නිල් ලේය.
උන් මට ලොල්ලේය දැන් ළතැවුල් ලේය"


අතක්‌ බෝසතු ගෙළෙහි තබමින් විමසා
මඳක්‌ සැලි සැලී පණනල තිබුණු නිසා
පසක්‌ තෙදැති දෙවියන් නොලසා
නැතත් කන්නලව් බස්‌ තෙපලයි මෙලෙසා"


සිංහල 9 වන ශ්‍රේණියේ එන "කිදුරිය වැළපෙයි" නැමැති පද්‍ය පංතියට ඔබගේ අවධානය යොමු කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017