පොළොන්නරුව හා කාලිංගය සමඟ වූ සබඳතා අවසන් වීම
 

මහා පරාක්‍රමබාහු රජුට පසුව අවුරුදු 50 ක පමණ කාලයක්‌ ලංකාව පාලනය කළේ කාලිංග රජ වංශයට අයත් රජවරුන් බව වංශකතාව අනුව පැහැදිලි වේ. ලංකාවේ රාජ්‍ය බලය ලබාගත් කාලිංග වංශිකයන්ගේ මව් රට පිළිබඳව මත දෙකක්‌ ඉදිරිපත්ව ඇත.

1. නැගෙනහිර ඉන්දියාවේ පිහිටි කාලිංග දේශය (වර්තමාන - ඔරිස්‌සා ප්‍රාන්තය) මොවුන්ගේ මුල්බිම බවට එක්‌ මතයක්‌ ඇත.

2.අනෙක්‌ මතය වන්නේ මලයානු අර්ධද්වපය මුල්කොටගෙන ජාවා සුමාත්‍රා ආඳී රටවල පැතිර පැවති ශ්‍රි විජය අධිරාජ්‍යය එකල කාලිංගය නමින්ද හඳුන්වා ඇති නිසා ලංකාවේ කාලිංග රජ පරපුර එහි සිට පැමිණ අයගෙන් ආරම්භ වූ බවයි.

උතුරු ඉන්දියාවේ කාලිංගයත් - ශ්‍රි විජය කාලිංගයත් යන දෙකම එකල බෞද්ධ ආර්ය ජනකොටස්‌ ජීවත් වූ ප්‍රදේශ දෙකකි. එබැවින් ලංකාවේ කාලිංග රජ පරපුර බෞද්ධයෝ වූහ.

මෙම කාලිංග දේශය කුමක්‌ වුවත් ලංකාව හා කාලිංග රජ පරපුර අතර දේශපාලන සම්බන්ධතා වැඩි දියුණුවීම පොළොන්නරු යුගය තුළ කැපී පෙනෙන ලකෂණයකි.

කාලිංගය සමග රාජකීය විවාහ සම්බන්ධතා :
1 වන මහා විජයබාහු රජතුමා සුන්දර නමැති කාලිංග කුමාරිකාවක්‌ විවාහ කර ගත්තේ ය. ඔහුගේ පුත් 2 වන වික්‍රමබාහු ද කාලිංග කුමාරිකාවක්‌ සරණ පාවා ගත්තේ ය. මහා පරාක්‍රමබාහු රජතුමා තමාගේ දියණියක්‌ කාලිංග වංශික කුමාරයෙකුට (පසුව රජවූ නිශ්ශංක මල්ල) විවාහකර දුන්නේය. නිශ්ශංක මල්ල ලංකාවේ රජකම ලබා ගැනීමෙන් කාලිංග රජ පරපුර ආරම්භ විය. නිශ්ශංක මල්ල රජුගේ එක්‌ බිසවක්‌ කාලිංග වංශයට අයත් විය. නිශ්ශංක මල්ලට පසුව රජුවූ වරබාහු, 2 වන වික්‍රමබාහු, සහාසමල්ල හා ලෝකිස්‌සර යන රජවරුන්ද කාලිංග වංශිකයන් ය.

කාලිංග රාජවංශය අවසන් වීම :
මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරන්ගේ මතය අනුව රජරට රජාශ්‍රිත ශිෂ්ටාචාරය විනාශකර දැමූ කාලිංග මාඝ හෙවත් කාලිංග විජයබාහු නිශ්ශංක මල්ල රජුගේ සර්වංග සුන්දර නම් වූ කාලිංග
බිසවගේ පුත්‍රයෙකි. ඔහු බෞද්ධයෙකි. නිශ්ශංක මල්ල රජුගේ අභාවයෙන් පසු ඔහු කාලිංග දේශයට ගොස්‌ තම නෑයින් සමඟ ජීවත් විය. කල්යල් බලා ලංකාව ආක්‍රමණය කළේ ය. දඹදෙණියේ රජවූ දෙවන පැරකකුම්බා රජු කාලිංග මාඝ පරාජය කර පන්නා දුමීමෙන් පසු ලංකාවේ කාලිංග වංශික පාලනය අවසන් වීය.

(c) Shilpa Sayura Foundation 2006-2017