පොළාන්නරු යුගයේ ඓතිහාසික විශේෂත්වය ක්‍රි.ව. 1055 - 1287
 

විවිධ කෙෂ්ත්‍රවලින් ඉස්‌මතු වන පොළාන්නරු යුගයේ අනන්‍යතාව සලකා බැලීම වැදගත්ය. ඉන් ශ්‍රී ලංකාවේ දියුණුවට වූ බලපෑම්ද අවබෝධ කර ගැනීම වැදගත්ය.

කෘෂිකර්මාන්තය :-
අනුරාධපුර යුගයේ මෙන්ම පොළොන්නරු යුගයේදී ද රජරට හා රුහුණ ජනාකීර්ණව පැවතුණි. ඊට අමතරව මහා පරාක්‍රමබාහු රජුගේ කෘෂිකාර්මික සංවර්ධන කටයුතු නිසා නිරිතදිග තෙත් කලාපයේ වඩාත් පුළුල් ජන ව්‍යාප්තියක්‌ ඇතිවිය.

මේ යුගයේ ද ගොඩ - මඩ ගොවිතැන් ක්‍රම ක්‍රියාත්මක විය. වඩාත් වැදගත් වූයේ වී ගොවිතැනය. පූජාවලිය, සද්ධර්ම රත්තනාවලිය බුත්සරණ හා ජාතක පොත මේ යුගයේ කෘෂිකාර්මාන්තය පිළිබඳ තොරතුරු ලබාගත හැකි මූලාශ්‍රයන් වේ. මින් සමහර කෘති රචනා ව ඇත්තේ පොළොන්නරු යුගයෙන්
පසුවය. රත්හැල්, හීනැටි යන ව වර්ග ගැනත් එළ ගවයන් හා මීගවයන් යොදාගෙන සී සෑ බවත්, කුඹුරුවල වල් නෙළීම, වගාවන්ට වැළඳුණු රෝග සඳහා කරන ලද කෙම් ක්‍රම පිළිබඳවත් ඉතිහාස මූලාශ්‍රවල සඳහන්ය. යල - මහ යන ප්‍රධාන කන්න දෙක අනුව වී වගාව කරන ලඳී.

කෘෂිකර්මාන්තය සඳහා නඟුල, පෝරුව, වියදණ්‌ඩ, කැත්ත, උදැල්ල ආදී උපකරණ භාවිත විය. අනෝන්‍ය සහයෝගය මත ගොවිතැන හා හේන් වගාව සිදුවිය. අඳ ගොවිතැන හා කුලියට කම්කරුවන් ලබාගෙන ගොවිතැන් කළ අවස්‌ථා ගැනද තොරතුරු ලැබේ.

රජතකුමා, ප්‍රහූන්ට හා බුද්ධ ශාසනයට අයත් ඉඩම් වගා කළ පිරිස අස්‌වැන්නෙන් කොටසක්‌ ගම්කාරයින් (ඉඩම් හිමියන්) ට ලබා ඳී ඇත. වියළි කලාපයේ උස්‌ බිම්වල හේන් වගාව සරුවට කෙරුණි. නිශ්ශංක මල්ල රජු හේන් වගාවට අය කළ කැති අඩ (කටුසර අය) නැමැති බද්ද අවලංග කළ බව සෙල්ලිපිවල දැක්‌ වේ. හේන්වල කුරක්‌කන් වගාව ප්‍රධාන වීය.

බුත්සරණ, වෙසතුරු දා සන්නයට සිංහල බෝධිවංශය හා සද්ධර්මාලංකාරය වැනි තත්කාලීන කෘතිවල සඳහන් වන අන්දමට හේන්වල උඳු, මුං, මෑ, කුරක්‌කන්, අබ, දුරු, වර්ග සහ තල වැනි බෝග වර්ග වලට අමතරව බටු, කැකිරි, තියඹරා, පුහුල් වැනි එළවළු වර්ගයන් ද වගාකර ඇත.

උක්‌ සහ කපු ආර්ථික ක්‍රමයේ වැදගත් වූ වගාවන් දෙකකි. සාමාන්‍ය ජනයා භාවිත කළ කපුරෙදි මෙරට නිපදවා ගත්හ. උක්‌ සකුරු නිපදවම ගැන උක්‌ දඬු ඇඹරීම සඳහා භාවිත වූ උක්‌ මෝල් ගැන ද සාහිත්‍ය කෘතිවල විස්‌තර ඇත.

ගෙවතු වගාව ද කෘෂි ආර්ථිකයේ වැදගත් අංගයක්‌ විය. පොල්, පුවක්‌, කිකුල්, තල්, අඹ, දෙහි, දොඩම්, කොස්‌, පලතුරු වර්ග, බුලත් හා ගම්මිරිස්‌ ගෙවතුවල වගා කර ඇත.

සත්ව පාලනයද විය. ගව පාලනය ඉතා වැදගත් විය. ගවයාගෙන් කෘෂිකර්මාන්තය ද සී සෑම, ගොයම් පෑගීම, බර ඇඳීම, පොහොර ලබාදීම, ආහාර ලබාදීම ඊට හේතු විය.

පස්‌ගෝ රසය (කිරි, දීකිරි, මෝරු, ගිතෙල්, කේජු) ජනතාවගේ ආහාරයට එක්‌විය. ගිතෙල් ඖෂධයක්‌ මෙන්ම පහන් දැල්වීම සඳහා ද භාවිත විය. එළුවන් හා කුකුළන් ඇති කිරීම ද සිදු විය.

ඉඩම් බුක්‌තිය :-
මෙකල ඉඩම් බුක්‌තිය අනුරාධපුර යුගයේ ඉඩම් බුක්‌ති ක්‍රමයට සමාන විය. සියලුම ඉඩම් රජුට අයිති විය. පෞද්ගලික ඉඩම්ද තිබුණු බවට සාක්ෂි ඇත. රාජ්‍ය සේවය සඳහා ඉඩම් ලැබුණි. විහාර දේවාල ගම් ද විය. මේ සියලු ඉඩම් දිවෙල්, පමුණු හා හිමි පමුණු යන නම් වලින් හඳුන්වනු ලැබුණි.

බදු වර්ග :-
ඉඩම්වල නිෂ්පාදිත ද්‍රව්‍යවලින් 1·6 ක්‌ බදු ලෙස රජයට අය කර ගැනුණි. මෙම ප්‍රමාණය සමහර රජවරුන් විසින් වෙනස්‌ කළ බවද පෙනෙයි. මහා පරාක්‍රමබාහු රජු වැඩිපුර බදු අය කළ නිසා තමා වසර පහක්‌ සඳහා අයබදු නතර කළ බව නිශ්ශංක මල්ල රජතකුමාගේ සෙල්ලිපිවල සඳහන් කර ඇත. අනුරාධපුර යුගයේ අය බදු ක්‍රමය එසේම ක්‍රියාත්මක විය. "කැතිඅඩ" නමැති බිම් බද්දක්‌, ජලාශ සඳහා වූ "පිසඹුරුවත'' නමින් බද්දක්‌ හා ගෙවතකු සඳහා "කොළවැල් අය'' නම් වූ බද්දක්‌ ගැන ද මූලාශ්‍රවල සඳහන් වේ.

දේශීය හා විදේශී වෙළඳාම මඟින් ලැබූ බදුද රාජ්‍ය ආදායම තර ගැනීමට උපකාර විණි. රාජ්‍ය ආදායම ආරක්‍ෂාව හා රට සංවර්ධනය සඳහා යෙදවිණි.

(c) Shilpa Sayura Foundation 2006-2017