මහා පරාක්‍රමබාහු රජතුමාගෙන් සිදුවූ ශාසනික සේවය
 

ශාසනික වශයෙන් පරාක්‍රමබාහු රජතුමාගෙන් සිදුවූ සේවය අතිමහත්ය. අනුරාධපුර යුගයේ සිට පැවති නිකාය භේදය තුරන් කිරීමට මෙතුමා පියවර ගත්තේය. දිඹුලාගල කාශ්‍යප තෙරුන්වහන්සේ ගේ මූලිකත්වයෙන් ඇතිකළ සංඝ සංශෝධනය මගින් සංඝයා වහන්සේ සඳහා විනය නීති රීති අඩංගු කතිකාවතක් සම්පාදනය කළ අතර මෙය පොළොන්නරු කතිකාවත නම් වෙයි.

මෙම නීති රීති ශිලා ලිපියක් ලෙස ළොන්නරුවේ උත්තරාරාමය හෙවත් ගල්විහාරයේ ලියවා තබන ලදී. මෙය අද පවා ගල්විහාර භුමියේ දක්නට ඇත. පොළොන්නරුවේ ඉඳිකළ ප්‍රධාන විහාරස්ථාන රැසක්ම මෙතුමා විසින් කරවන ලදී. පොත්ගුල් විහාරය, උත්තරාරාමය, ලංකා තිලක පිළිමගෙය සහ දෙමළ මහා ස්ථූපය මේ අතර ප්‍රධාන වේ. දෙමළ මහා ස්ථූපය එතුමාගේ දකුණු ඉන්දීය සටනේ දී අල්වාගත් සිරකරුවන් යොදවා කළ විහාර කර්මාන්තයක් නිසා එම නම යොදා ඇත.


 

 

 


එතුමාගේ බිසෝවරුන් වන භද්‍රාවතී දේවිය විසින් පොළොන්නරු කිරි වෙහෙර ද, රූපාවතී දේවිය විසින් පබළු වෙහෙර ද කරවා ඇත. පොළොන්නරුවේ දැනට ඉතිරිවී ඇති රමණීය නෙළුම් පොකුණ එතුමාගේ නගර අලංකාරය පිළිබඳව තිබූ මනා හැකියාව පෙන්නුම් කරන්නකි.

විශාල කුටි සංඛ්‍යාවකින් යුත් පොළොන්නරුවේ තනන ලද රජ මාලිගයේ නටඹුන් අද පවා දැකිය හැකිය. මේ හැර රජුන් සහ ඇමතිවරුන් රැස්වූ මන්ත්‍රණ සභා ශාලාවේ නටඹුන් ද රජ මාලිගාවට නුදුරින් පිහිටා තිබුණි. ආලාහන පිරිවෙන නමින් හැඳින්වෙන්නේ සංඝයා වහන්සේ ගේ වාසය සඳහා මෙන්ම අධ්‍යාපන මධ්‍යස්ථානයක් ද වශයෙන් පැවතුණු ප්‍රසිද්ධ ස්ථානයකි.

පරාක්‍රමබාහු රජතුමා, ජන්ම ලාභය ලැබූ දැදිගමට ආසන්නව සූතිඝර චේතිය නමින් චෛත්‍යක් ද ඉදිකරවන ලදී.

(c) Shilpa Sayura Foundation 2006-2017