මහා පරාක්‍රමබාහු රජතුමා ඇතිකළ කෘෂිකාර්මික සංවර්ධනය
 

මහා පරාක්‍රමබාහු රජතුමාගෙන් පොළොන්නරුවේ ආර්ථික සංවර්ධනයට සිදුවූ සේවාව අති විශාලය. වාරි කර්මාන්තය දියූණු කරමින් කළ කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපාර නිසා රට සහලින් ස්‌වංපෝෂිත විය. මහා පරාක්‍රමබාහු යුගය රජරට වාරි කර්මාන්තයේ ස්‌වර්ණමය යුගය වේ.



ඔහු මහා වැව් 163ක්‌ද කුඩා වැව් 2376ක්‌ද වාරිමාර්ග 3910ක්‌ද අමුනු 165ක්‌ද කරවූ බව වංශකතාවේ සඳහන් වේ. සියල්ල ඔහු විසින් අලුතින් ඉදිකළ ඒවා සහ ප්‍රතිසංස්‌කරණය කළ ඒවා ලෙස සැලකීමට පුළුවන.

පරාක්‍රමබාහු රජුගේ විශිෂ්ටතම නිර්මාණය වන්නේ පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයයි. මෙම මහා වැව එකල පැවති දුඹුටුලු වැව, තෝපා වැව හා එරමුදු වැව ඇතකුළු වැව් පහක්‌ ඒකාබද්ධ කොට සාදන ලඳී. එහි වැව් බැම්ම කිලෝමීටර් 13 1/2 වඩා දිගින් යුතුවේ. වැව් බැම්මෙහි උස අඩි 40 පමණය.

පරාක්‍රම සමුද්‍රයේ විශාලත්වය අක්‌කර 5350ක්‌ පමණ වේ. දැනට හඳුනාගෙන ඇති අන්දමට වැවෙන් නිකුත් කළ ජලය ඇළ මාර්ග එකොළහක්‌ ඔස්‌සේ කෙත්බිම් වලට සපයා ඇත. මහවැලි ගඟේ ඇතු ගංගාවක්‌ වූ අඹන් ගඟ හරහා අඟමැඩිල්ල නම් ස්‌ථානයේ විශාල ගල් අමුණක්‌ බැඳ ආකාශ ගංගා යනුවෙන් හඳුන්වන ලද විශාල ඇළ මාර්ගය ඔස්‌සේ පරාක්‍රම සමුද්‍රයට ජලය ලබාගෙන ඇත.

හෙතෙම ඇළහැර ඇළ විශාල කොට එමගින් ජලය ගෙන ගොස් මින්නේරිය වැනි වැව්වලට හරවා එමගින් රජරට ප්‍රදේශයේ විශාල කෘෂිකාර්මික සංවර්ධනයක් ඇති කළේය.

තවද පරාක්‍රම තඩාව, මිහිඳුතලා වැව, ඒකවාපී, පරාක්‍රම, සාගර, කොටුබද වැව සදහ ගඟකුල්හැලි වැව ඔහු විසින් ඉදිකරවන ලද වැව් කිහිපයකි. මින්නේරි වැව, යෝධ වැව, කවුඩුලු වැව, පදවිය වැව, කලා වැව ඔහු විසින් ප්‍රතිසංස්‌කරණය කළ අතර පැරණි වැව් 300ක පමණ සොරොව් අලුතින් සාදවා ඇත.

පොළොන්නරුවේ වැවි හා කුඹුරු පද්ධතිය - 2007

ඇළහැර ඇළ හා ජයගඟ යන මාරිමාර්ගද ප්‍රතිසංස්‌කරණය කළේ ය. පරාක්‍රමබාහු රජු ඉදිකරවූ සියලුම වාර්මාර්ගවල දිග සැතපුම් 600ක්‌ පමණ වනු ඇත. මේ හැර මෙතුමා වැව් ඇළවල් සහ අමුණු ඉදිකිරීම මෙන්ම පැරණි වාරිමාර්ග රැසක් ද ප්‍රතිසංස්කරණය කළේය. මෙසේ ප්‍රතිසංස්කරණය කළ ඇළවල් සහ කුඩා වැව් දහස් ගණනක් විය.

පඩුවස්නුවර රජ මාලිගයක් ඉදිකළ පරාක්‍රමබාහු කුමරු එහි තිබූ වැවක් විශාල කර පණ්ඩුවාපි ලෙස නම්කර ගොවිතැනට අවශ්‍ය ජලය සපයන ලදී. තවද දැදුරුඔය තුන් තැනකින් හරස්කර අමුණු බැඳ ඇළ මාර්ග ඔස්සේ ගොවිතැනට ජලය සපයා ගන්නා ලදී.
 පඩුවස්නුවර රජ මාලිගය







පස් යොදුන් රට හෙවත් දැනට කළුතර දිස්ත්‍රික්කයේ වගුරු බිම්වලට තිබූ ජලය බස්සවා ගොවිතැනට සුදුසු පරිදි සකස් කර වු බව සඳහන්වේ. මේ අනුව මුළු මහත් දිවයිනේම කෘෂිකර්මය දියුණු කිරීමෙන් එතුමාගේ කාළයේ "පෙරදිග ධාන්‍යාගාරය" යන නම ලැබුණා විය හැක. සරු අස්වැන්නක් ලැබීමට නිවැරදි ජල කළමනාකරණයද, වැව් අමුණු ප්‍රතිසංස්කරණය හා අළුතින් සෑදීම හේතු වන්නට ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017