විජයබාහු රජතුමාගෙන් සැලසුන විශිෂ්ටතම සේවය වන්නේ සොළී ආධිරාජ්‍යයට නතුව තිබූ අප රට විදේශීය පාලනයෙන් මුදවා ගැනීමයි. ඉතා ශක්තිමත් චෝල අධිරාජ්‍යයට එරෙහිව ඔහු විසින් මෙහෙයවූ සටන ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලම සටන ලෙස දැක්විය හැකිය.
රට එක් සේසත් කල එතුමා, චෝල පාලනය නිසා බිඳවැටී තිබූ රටේ පරිපාලනය ගොඩනැංවීමට කටයුතු කළ අතර විනාශ වී තිබූ ආර්ථිකය නගා සිටුවීමට කටයුතු කළේය. විදේශ ආක්‍රමණ නිසා විනාශ වී තිබුණු වැව් අමුණු පිළිසකර කරවීමද මෙතුමා අතින් සිදුවිය.
එතුමා ඇළහැර ඇළ ප්‍රතිසංස්කරණය කොට එයට සම්බන්ධ මින්නේරි, කවුඩුළු, කන්තලේ වාරිමාර්ග යථා තත්වයට පත්කළේය. එමෙන්ම මහගල්කඩවල, මහකණදරාව, පත්පහන්වැව සහ නාච්චදූව යන වැව් ප්‍රතිසංස්කරණය කළේය. විජයබාහු රජුගේ කාලයේ එතුමා කරවූ නව වැව් ගැන සඳහන් නොවන්නේ යුද්ධ උපක්‍රමයක් ලෙස සොළීන් විසින් කඩා බිඳ දැමූ ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කාලය සහ ශ්‍රමය යෙදවීමට සිදුවූ නිසා බව සිතිය හැකිය.
බොහෝ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කළ අතර රජමාලිගය ආසන්නයෙන්ම දන්ත ධාතුන්වහන්සේ උදෙසා මාලිගයක් ඉඳිකරන ලදී. දැනට 'අටදාගෙය' නමින් ශේෂව පවතින්නේ එම දළඳා මාලිගාවයි.
විජයබාහු රජතුමාගේ විදේශ ප්‍රතිපත්තිය නිසා ද මෙරටට පැමිණිය හැකි උවදුරු වළක්වා ලීමට හේතු වූයේ යැයි පෙනේ. චෝළ අධිරාජ්‍යයේ සතුරන් ලෙස සිටි පාණ්ඩ්‍ය දේශයේ කුමරෙකු හට සිය සොහොයුරිය වු මිත්තා කුමරිය විවාහ කරදෙන ලදී. ඇයට මානාභරණ, ශ්‍රී මේඝ සහ ශ්‍රී වල්ලභ නමින් පුතුන් තිදෙනෙකු විය. ඉන්දියාවේ කාලිංග දේශය සමඟ ද සම්බන්ධකම් ඇතිකරගත් විජයබාහු රජු එරටින් කාලිංග කුමරියක වු තිලෝක සුන්දරී තම දෙවන මෙහෙසිය බවට පත්කර ගත්තේය. ඇයට දූවරුන් කිහිපදෙනෙක් සහ වික්‍රමබාහු නම් පුතෙක් ද විය. මෙවැනි කටයුතු වලින් පෙනීයන්නේ මතු කලෙක හෝ චෝළ රාජ්‍යයෙන් පැමිණිය හැකි උවදුරු හමුවේ එයට විරුද්ධව සොළී විරෝධි රාජ්‍යයන්ගෙන් ආධාර ලබාගැනීමට අවශ්‍ය අඩිතාලම යොදා ගැනීමයි. |