කථක්‌ නැටුමේ විශේෂතා හා ලක්‌ෂණ
 

කථක්‌ නැටුමට අදාළ සංගීත ක්‍රමය ලෙස හැඳින්විය හැක්‌කේ හින්දුස්‌ථානි සංගීතයයි. ප්‍රධාන වාද්‍ය භාණ්‌ඩය තබ්ලාවයි. තබ්ලාවෙන් වැයෙන පද කොටස්‌ විවිධ ලය ප්‍රභේදයන්ට අනුව නැටීමත්, එසේ නැටීමේ දී පාද පොළොවේ වැඳීම මගින් මතුවන හඬ, තබ්ලා පදයේ එන තබ්ලා හඬට සමාන වන ආකාරයෙන් ඉදිරිපත් කිරීමත් මෙහි ඇති විශේෂ ලක්‌ෂණයකි.


 
 එක්‌ තැන නටමින් "වට" බොහෝ ගණනක්‌ කර කැවීමට හැකිවීමත්, මාධ්‍ය ලයේ සිට අති දෘත ලය දක්‌වා පද පෑගීම ගුණ කිරීමට හා අති විලම්බ ලය දක්‌වා අඩු කිරීමට හැකිවීමත්, සංකීර්ණ තාල රූපයන්ට අනුව නර්තනයේ යෙදීමට හැකිවීමත්, කථක්‌ නර්තනය ලාස්‍ය ලක්‌ෂණයන් ගෙන් යුක්‌ත ය. නර්තන ලාලිත්වය හා ශෘංගාරාත්මක ලක්‌ෂණ නිසාම අනෙකුත් භාරතීය නර්තන සම්ප්‍රදායන් අතරින් කථක්‌ නර්තනය කැපී පෙනේ.



 
 කථක්‌ නර්තනය ආරම්භ වන්නේ "ප්‍රමාද" නමින් හැඳින්වෙන නර්තන අංගයකිනි. එය නෘත්‍ය පූජාවක්‌ නැතහොත් ප්‍රණාමයක ස්‌වරූපයක්‌ ගනී. ඉන් අනතුරුව "පරන්" නමින් හැඳින්වෙන නර්තන කොටස ද " ගැත් " නමින් හැඳින්වෙන පද කොටස ද ඇතුළු ප්‍රධාන අංග තුනකින් සමන්විතය.
 
 පරන් නමින් හැඳින්වෙන නර්තන කොටස කථක්‌ නැටුමේ වැදගත් කොටසකි. එය සංකීර්ණ කාල පද්ධතියකින් හා අසීරු පද පෑගීමකින් යුක්‌ත ය. විවිධ තාල රූපයන්ට අනුව ඉදිරිපත් කරන විචිත්‍ර නර්තන අංග රාශියක්‌ එහි අන්තර්ගත ය. හස්‌ත චලනවල ඇති වේගවත් බවත්, වට කැරකීමෙන් පසු සෘජු වම ප්‍රේක්‌ෂකයා ඉදිරියට මුහුණ ලා නතර වීමත් මෙහි දී දැක්‌විය යුතු විශේෂ දක්‌ෂතාවකි. 
 

 ගැත් නමින් හැඳින්වෙන නර්තන කොටස "සාරංගී" නමැති සංගීත භාණ්‌ඩය සමඟ ගැයෙන ගීත අනුව රඟ දක්‌වනු ලැබේ.
 කථක්‌ නැටුමේ රංග වස්‌ත්‍රාභරණ "මුස්‌ලිම්" ආභාෂය ලබා නිර්මාණය ව ඇත. " රාජ්පුට්‌ " වංශවතුන්ගේ ඇඳුමට එකී රංග වස්‌ත්‍රාභරණ දැඩි සමානත්වයක්‌ පෙන්නුම් කරයි. යටි කයට අඳින කෙටි සායක්‌ වැනි ඇඳුමක්‌, සහ මේස්‌ කලිසමකින් සැරසෙන පිරිමි නළුවන්ගේ උඩුකය නිරාවරණය. දෙපාවල කුඩා ගෙජ්ජි රාශියක්‌ බැඳ ඇති අතර නර්තනයේදී පද තාල අනුව ඒවායින් සුමධුර නාදයක්‌ උපදී. කාන්තා ඇඳුම ද ඊට බොහෝ සෙයින් සමාන ය. කාන්තාවන්ගේ උඩුකය අලංකාර සැරසිල්ලෙන් යුත් හැට්‌ටයකින් සැරසී ඇත. දෙඅත් වළලුවලින් හැඩ කරගනු ලැබේ.
 " අච්චන් මහාරාජ්, බිජු මොහොන් මහා මහාරාජ්, උර්මිලා නගර් " අති දක්‌ෂ කථක්‌ නැටුම් ශිල්පීන් ලෙස නමක්‌ දිනා ඇත.